August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැගසින් බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියාගේ තොරතුරු එළියට

1 min read

බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලැබීය.

ඒ, යම් පාර්ශ්වයක් පිටත සිට බන්ධනාගාර පරිශ්‍රයට විසිකළ හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.

එම අවස්ථාවේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර පසුව රැඳවියන් 45ක පමණ පිරිසක් සිරමැදිරියක් කඩා පිටතට පැමිණ තිබුණි.

පොලිසිය පවසන්නේ ඉන් බහුතරය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ”කොස්මල්ලි” නැමැත්තාගේ සහායකයින් බවය.

නොසන්සුන් ලෙස හැසිරුණු පිරිස බන්ධනාගාර ගේට්ටුවෙන් පිටතට යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් තත්ත්වය පාලනයට දැඩි උත්සාහයක් දරා තිබුණි.

රැඳවියන් දෙපිරිස අතර ඇතිවූ ගැටුම අතරතුර එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හෝමාගම කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති 35 හැවිරිදි අයෙකි.

ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක්, මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙකි.

එමෙන්ම ”හෝමාගම හඳයා” නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතින බව පැවසෙයි.

ජනප්‍රිය පුවත්  IMF එකෙන් ලංකාවට 2027 ඩෙඩ්ලයින් එකක්: බදු නීති තවත් තද වෙයි; හැංගිලා හිටපු බදුකාරයන් කොටු කරන්න අලුත් ප්ලෑනක්!

එමෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්කෙරුණේද මෙම පුද්ගලයාය.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් දසදෙනෙක් ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට යොමුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම මෙම ගැටුම මෙහෙයවූ බව පැවසෙන රැඳවියන් නව දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x