October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..

1 min read

ගාල්ල වරායට ආසන්න මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකාවක සිටි කාර්ය මණ්ඩල සේවකයන් 27 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් ගොඩබිමට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් යොදා ගනිමින් අදාළ රෝගාතුර වූ සේවක පිරිස අද (24) දහවල් ගාල්ල වරාය වෙත රැගෙන ආ බව ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය තහවුරු කළේය.

ගාල්ල වරාය පරිශ්‍රය තුළ තාවකාලිකව රඳවා තබා ඇති මෙම නාවිකයන් පිරිස, වැඩිදුර සහ කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් ඉරානයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකා රැසක් පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) ආසන්නයේ ගැඹුරු මුහුදේ නැංගුරම් ලා සිටි පසුබිමක මෙම හදිසි රෝගී තත්ත්වය වාර්තා විය.

මුහුදු මාර්ගයෙන් පැමිණෙන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ හදිසි මානුෂීය ආධාර සැපයීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සමුද්‍රීය නීති හා සම්මුතීන්ට අනුගත වෙමින් ශ්‍රී ලංකා බලධාරීන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ජනප්‍රිය පුවත්  විමල්ට ඇප

මෙම සේවකයන් හදිසියේ අසනීප වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ වෛද්‍ය හා ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇත.

ඒම සිදුවීම සම්බන්ධයෙන් රජය ක්‍රියා කළේ අදාළ සියලු ජාත්‍යන්තර සම්මුතීන් හා නීති රීතිවලට පූර්ණ ලෙස අනුගත වෙමින් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, යම් පිරිසක් මුහුදු මාර්ගයෙන් පැමිණෙන අවස්ථාවකදී රාජ්‍යයක් විසින් අනුගමනය කළ යුතු සම්මත ජාත්‍යන්තර නීතිමය රාමුවක් මෙන්ම සරණාගතයන් හා මානුෂීය සහන සැලසීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පවතින බවයි.

එකී නීති රීති සහ මානුෂීය සම්මුතීන්ට ගරු කරමින් ශ්‍රී ලංකා රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්, එම ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු රටකට හෝ පාර්ශ්වයකට ගැටලුවක් මතුවීමට ඉඩක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

ආරම්භයේ සිට මේ දක්වා මෙම සිදුවීමට අදාළ සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ජාත්‍යන්තර ප්‍රමිතීන් හා සම්මුතීන්ට අනුකූලව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x