නොරොච්චෝල නැවතුනේ බාල ගල්අඟුරු නිසයි.. පෞද්ගලික ඩීසල් බලාගාර වලින් විදුලිය නිපදවන්න දිනකට රුපියල් කෝටි 130ක් ගෙවන්න වෙලා..
1 min read
නොරොච්චෝල බලාගාරයේ භාවිත කළ ප්රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් ඉකුත් 17 වැනිදා දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදු වූ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා පවසයි.
හිරු නාලිකාවේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අනාවරණය සිදු කළේය.
මෙම බාල ගල්අඟුරු දහනය වීම නිසා දිනපතා අධික අළු ප්රමාණයක් එකතු වී ඇති අතර, සේවකයන්ට නිසි නඩත්තු කටයුතු කිරීමට නොහැකිව අළු ඉවත් කිරීමට පමණක් කාලය ගතවී තිබේ. අවසානයේ බොයිලේරුවේ ඩ්රම් එක තුළ පීඩනය දරාගත නොහැකිව එහි ඇති ඩයෆ්රම් එක පිපිරී යාමෙන් නොරොච්චෝල බලාගාරයේ මුළු ධාරිතාව වන මෙගාවොට් 810ම අහිමි වී ඇති බවත්, පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට දින 5ත් 7ත් අතර කාලයක් සිසිල් වීමට ගත වන බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
විදුලි බිඳවැටීමට ඉහළ කොත්මලේ බලාගාරයේ දෝෂයක් හේතු වූ බවට අමාත්යවරයා කළ ප්රකාශය සම්පූර්ණයෙන්ම අසත්යයක් බව පෙන්වා දුන් මන්ත්රීවරයා, ඉහළ කොත්මලේ බලාගාරයේ බිඳවැටීම ඊට පෙර දින දහවල් කාලයේ සිදු වූවක් බවත්, 17 වැනිදා මහා විදුලි බිඳවැටීමට එයින් කිසිදු බලපෑමක් එල්ල වී නැති බවත් අවධාරණය කළේය.
ජාතික විදුලිබල පද්ධතියේ සම්මත ක්රමවේදයට අනුව මෙගාවොට් 2,800ක ඉල්ලුමක් ඇති විට හදිසි බිඳවැටීමක් පාලනය කිරීමට 10%ක (මෙගාවොට් 280ක) අතිරේක ධාරිතාවක් ක්ෂණිකව ක්රියාත්මක වන සේ සූදානම් කර තිබිය යුතු වුවත්, නොරොච්චෝල පළමු ජනක යන්ත්රයේ ධාරිතාව මෙගාවොට් 178 සිට 5 දක්වා පහත වැටෙන මොහොතේ ජාතික පද්ධති පාලන මධ්යස්ථානය සතුව එවැනි කිසිදු සංචිතයක් නොතිබූ බව ඔහු පෙන්වා දුන්නේය.
නොරොච්චෝල අක්රිය වීමෙන් මතුවූ විදුලි හිඟය පියවීම සඳහා පෞද්ගලික ඩීසල් බලාගාර වෙත යොමුවීම නිසා විදුලිය උත්පාදනය වෙනුවෙන් රජයට දිනකට රුපියල් බිලියන 1.3ක (රුපියල් කෝටි 130ක) අමතර මුදලක් ගෙවීමට සිදුවී ඇති අතර, විදුලිය විසන්ධි වීමෙන් පීඩාවට පත් සාමාන්ය ජනතාවගේ මුදල් මෙලෙස පෞද්ගලික ඩීසල් බලාගාර හිමියන් අතට පත්වන දැවැන්ත ව්යාපාරික ජාවාරමක් මීට යටින් ක්රියාත්මක වන බව ඔහු චෝදනා කළේය. එසේම, මෙම බිඳවැටීම පිළිබඳ සත්ය තොරතුරු අනාවරණය කරගැනීමට මාසයක කාලයක් අවශ්යයි පවසමින් රජය කාලය මරමින් සිටින බවත්, පාලකයන් රට හමුවේ සත්ය සඟවමින් විවිධ පරස්පර ප්රකාශ සිදුකරන බවත් මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
