September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර ගැටුම්වල දේපළ හානිය මිලියන 255කට අධිකයි

1 min read

මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණ වී තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රටම එකට ජාතික මෙහෙයුම් සභාව අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීය.

බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එමෙන්ම 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා, විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ එක්ව ක්‍රියාත්මක කරන ‘මිතුරු පාසල’ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබේ.

එහිදී සිසුන්ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත්, මත්ද්‍රව්‍ය භාවිත කරන දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට මඟපෙන්වීම පිළිබඳව ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ උපදේශකවරුන් පුහුණු කිරීම සිදු කෙරන බවත් සඳහන් කෙරිණි.

ජනප්‍රිය පුවත්  නුවරඑළිය සහ හැටන් කලාපවල සියලුම පාසල්වලට අද නිවාඩු

මත්ද්‍රව්‍ය අවදානම වැඩි සහ ජනගහන ඝනත්වය වැඩි ප්‍රදේශවල පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් අතර විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර ඒ පිළිබඳව ජාතික සභාවේ විශේෂ අවධානය යොමු විය.

දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකව පරීක්ෂා කිරීමට හැකි වන ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධ සැල් මගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත්, දෙමාපියන් දරුවන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවීමේ වැදගත්කමත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍යවලට එරෙහි මතවාදය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාවද සාකච්ඡා විය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ “ප්‍රජාශක්ති” වැඩසටහන එක්ව මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගැනීම, මුල් අවදියේම හඳුනා ගැනීම, පුනරුත්ථාපනය, නීති සංශෝධනය සහ ආයතනික වෙනස්කම්, නැවත ඇබ්බැහිවීම සහ පසු විපරම් කිරීම, සැලසුම් නියාමනය සහ සමලෝචනය සහ වාර්තා කිරීම යන සංශෝධිත ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපාය මාර්ගික සැලැස්මට අනුව ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.

ජනප්‍රිය පුවත්  මේ මාසයේ ආසියාවේ වේගයෙන්ම පිරිහෙන මුදල් ඒකකය අපේ රුපියල - බ්ලූම්බර්ග්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x