October 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බල්ලන්ගේ එන්නතට දොස්තර සටනක්

1 min read

ජලභීතිකා එන්නත ලබා දීම පශු වෛද්‍යවරුන්ට පමණක් සීමා කිරීමෙන් ජලභීතිකා මර්දන වැඩසටහනට බරපතළ තර්ජනයක් එල්ල වන බවට,බල්ලන්ගේ එන්නතට රජයේ වෛද්‍ය නිලධාරීන් කළ ප්‍රකාශයට පශු වෛද්‍යවරු දැඩි විරෝධය පළ කරති.

සුනඛයන් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පත මඟින් සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබාදිය හැක්කේ, පශු වෛද්‍යවරයෙක් හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ වෙනත් අයෙකු විසිනි.

එම වගන්තිය හේතුවෙන් ජලභීතිකා මරණ සංඛ්‍යාව අඩු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දැඩි තර්ජනයක් එල්ල වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ප්‍රකාශයට එරෙහිව පශු වෛද්‍ය එකමුතුව මෙලෙස සිය විරෝධය පළ කර ඇත.

මානුෂීය ක්‍රම මගින් සත්ත්ව ගහණය කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව පෙන්වා දෙන්නේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරු දැඩිව කනගාටු වෙන බවයි.

පශු වෛද්‍යවරු සිය රාජකාරිය නිසි ලෙස වටහා ගෙන සිටින බවත්, රජයේ වෛද්‍යවරු පශු වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී සිටින්නේ නම් එවැනි ප්‍රකාශයක් කිරීමේ වැරැද්දක් නැති බවත්, පශු වෛද්‍ය එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය චමිත් නානායක්කාර, මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  ඩොලර් එක 354යි ! වෙළඳපොළේ දැඩි නොසන්සුන්තාවක් - ලබන සතියේ මොකද වෙන්නේ?

පශු වෛද්‍යවරු කිසිම දිනයක දරුවන්ට බෙහෙත් කිරීමට කටයුතු නොකරන බවද ඔහු අවධාරණය කළේය.

“රජයේ වෛද්‍යවරු කියනවා ඔවුන් මීට පෙර සුනඛ ගහණයෙන් 60%ට එන්නත් කරලා අවසන් කියලා. සුනඛ ගහණය ගැන දත්ත නැතිව එයාලා කොහොමද එහෙම කියන්නේ. අද වෙනකොට මේ එන්නත්කරණය ව්‍යාපාරයක් බවට පත්වෙලා. සුනඛයන් එන්නත් කිරීමට කටයුතු නොකර උන් සපා කෑවාම මිනිස්සුන්ට එන්නත් විදීම තමයි හැමදාම කළේ. ඒකත් බිලියන ගණනින් වන ඖෂධ මාෆියාවේම තවත් කොටසක්” යැයිද චමිත් නානායක්කාර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, සුනඛයන් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළ යුතු බවයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නන්ගර, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කීය.

ජලභීතිකා රෝගය තුරන් කිරීම හා සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම එම පනතේ අරමුණ වේ.

ජනප්‍රිය පුවත්  ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි

පරිපාලන සීමාව තුළ සිටින සෑම සුනඛයකුම වාර්ෂිකව ජලභීතිකා රෝගයට එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම මෙම පනත් කෙටුම්පත මගින් අනිවාර්ය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසූයේ, ජලභීතිකා ප්‍රශ්නය ඉතා ඉක්මනින් නිරාකරණය කරගත යුතු ගැටලුවක් බවයි.

සාමාන්‍ය පුරවැසියාට මෙන්ම ඇතැම් ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයටත් මෙම ගැටලුව අහිතකර ලෙස බලපා තිබෙන බවත්, ඒ හේතුවෙන් පළාත්පාලන අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව මෙම තීරණය ගත් බවත්, සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ටද ඒ ගැන යම් අදහසක් ඇත්නම් ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත්, කුමන තත්ත්වයක් යටතේ වුවද මෙම කාර්යය කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත්, ඇමැති නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පැවසීය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x