ලලිත් වීරතුංගව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !
1 min read
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර විසින් රහස් පොලීසිය වෙත උපදෙස් දී තිබේ. ඒ, මාසයකට වරක් ජනාධිපතිවරයා විසින් කැඳවනු ලබන නි.පො. ශානි අබේසේකර, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති “දඩයම්” සමාලෝචන හමුවේදීය.
2014 වසරේ දී එවකට පැවති ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය ඇමරිකාව තුළ නැංවීම සඳහා (Lobbying කටයුතු වෙනුවෙන්) ඉමාඩ් සුබේරි නම් පකිස්ථාන – ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයාට ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ඩොලර් මිලියන 8.5 ක මුදලක් ගෙවා තිබීම පිළිබඳ පරීක්‍ෂණයට අදාළව හිටපු ජනාධිපති ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබේ.
මෙම ඉමාඩ් සුබේරි නැමැත්තා ඇමරිකානු දේශපාලනඥයන්ට අරමුදල් සපයමින්, විදේශීය රජයන් වෙනුවෙන් නීති විරෝධී ලෙස බලපෑම් කිරීමේ (Lobbying) ජාවාරමකට හසුවී 2019 වසරේ දී ඇමරිකානු අධිකරණය මගින් වසර 12 ක සිර දඬුවමකට ද ලක් කරන ලද අයෙකි.
රහස් පොලීසිය මේ වන විට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පිරිසකගේ මීට අදාළව ප්‍රකාශ ලබාගෙන තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ඉදිරි දින කිහිපය තුළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා පසුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබේ. ලලිත් වීරතුංග මගින්, ඉමාඩ් සුබේරි සමග එකී මූල්‍ය ගනුදෙනුව සිදුකිරීමට නියෝග කළේ රාජපක්ෂ පවුලේ අයකු බව ප්‍රකාශ කර ගැනීම රහස් පොලීසියේ විමර්ශකයන්ගේ ඉලක්කය වී තිබේ. නියෝජ්‍ය පොලිස්පති ශානී අබේසේකර දැනටමත් ඒ සඳහා අදාල විමර්ශන නිලධාරින්ට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
- කලිදු ජයවර්ධන
