වෛද්ය ස්ථාන මාරු ප්රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. – GMOA අනතුරු අඟවයි..
1 min read
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දී ඇති පරිදි, වෛද්යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් ස්ථානගත කිරීමේ ක්රියාවලියේ පවතින ප්රමාදයන් මෙන්ම අක්රමිකතා හේතුවෙන් පර්යන්ත රෝහල් සහ ප්රාථමික සෞඛ්ය ඒකකවල සේවා බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
දීප ව්යාප්ත මට්ටමින් ක්රියාත්මක වන වෛද්ය සේවාව කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විධිමත් ස්ථාන මාරු ක්රියාවලියක ඇති වැදගත්කම එම සංගමය අවධාරණය කරයි.
ඒ අනුව, කුසලතා මත පදනම්ව සෑම වසර හතරකට වරක්ම ක්රියාත්මක වන වෛද්ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්රියාවලිය, රට පුරා විශේෂයෙන්ම දුෂ්කර හා පර්යන්ත රෝහල්වල සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට ඉමහත් සේ ඉවහල් වේ. එමෙන්ම, පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් ස්ථානගත කිරීමේදී ආයතනික හා සේවා අවශ්යතා නිසි ලෙස සැලකිල්ලට ගනිමින් ස්ථාන මාරු මණ්ඩල හරහා තීරණ ගත යුතු බවද ඔවුන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, සෞඛ්ය අමාත්යාංශයේ අදාළ බලධාරීන්ගේ අකාර්යක්ෂම මෙන්ම අත්තනෝමතික ක්රියාමාර්ග නිසා මෙම සමස්ත ක්රියාවලියම මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස චෝදනා කරයි.
ආයතන සංග්රහයට සහ රාජ්ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීතිවලට අනුව මෙම ස්ථාන මාරු සහ ස්ථානගත කිරීම් සඳහා ස්ථාන මණ්ඩලවල සහභාගීත්වය අනිවාර්ය කර තිබුණද, වෛද්ය සේවා අධ්යක්ෂවරයා විසින් වගකීම් විරහිතව සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් ස්ථානගත කිරීම් බරපතළ ලෙස ප්රමාද වී තිබේ.
මේ හේතුවෙන් වාර්ෂික ස්ථාන මාරු ලබා ගැනීමට අපේක්ෂාවෙන් බලා සිටින වෛද්යවරුන්ටද සිය ස්ථාන මාරු නිසි පරිදි ක්රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති අතර, සේවා අවශ්යතා නොසලකා ඇතැම් අවස්ථාවලදී ස්ථාන මාරු ක්රියාත්මක කිරීම නිසා සමස්ත සෞඛ්ය සේවා සැපයීම සහ රෝගී සත්කාරක කටයුතුද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සඳහන් වේ.
එබැවින්, අධ්යක්ෂවරයාගේ මෙම අවිධිමත් හා අකාර්යක්ෂම ක්රියාපටිපාටිය වහාම නිවැරදි කර ස්ථාන මාරු ක්රියාවලිය විධිමත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
