October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. – විමල්ගෙන් හෙළිදරව්වක්

1 min read

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව පැවසීය.

බන්ධනාගාර අභ්‍යන්තර පරිපාලන රෙගුලාසිවල 216 වන වගන්තිය සහ 500 වන වගන්තිය උපුටා දක්වමින් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ, සරල සිරදඬුවමකට ලක්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිය සිවුර දරාගෙන සිටීමට නීත්‍යානුකූල අවසර හිමිවන බවයි.

යම් හෙයකින් ඒ පිළිබඳ සැකයක් පවතින්නේ නම්, බන්ධනාගාර අධිකාරීවරයා විසින් කොමසාරිස්වරයා හරහා රජයෙන් විමසා සිටිය යුතු බවත්, එවැනි විමසීමකින් තොරව තීරණ ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී මාස 9ක කාලයක් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගතව සිටියදී උන්වහන්සේ සිවුර දරාගෙන සිටි බව මතක් කළ වීරවංශ මහතා, වත්මන් පාලනය යටතේ උන්වහන්සේට ජම්පරය ඇන්දවීමට කටයුතු කිරීම බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ ජනතාවට සිදුකළ මහත් අවමානයක් ලෙස හැඳින්වීය.

ජනප්‍රිය පුවත්  වෙනිසියුලාවේ භූකම්පනයෙන් දින 6කට පසු තුන් හැවිරිදි දරුවෙකු බේරාගනී

එසේම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ දඩයම් මන්දිර හරහා නියෝග නිකුත් කරමින්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් නායකයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිටපු අමාත්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවටද ඔහු චෝදනා කළේය.

විශේෂයෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මැතිනිය, හිටපු අග්‍ර විනිශ්චයකාරවරියගේ ස්වාමිපුරුෂයා වූ ප්‍රදීප් කාරියවසම් මහතා සහ යුද සමයේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසුපස ඇති අසාධාරණ සහ අත්තනෝමතික ස්වභාවය ඔහු පෙන්වා දුන්නේය.

රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව 2006 වසරේ පැවැති නිල සංචාරයකදී ලැබුණු ඩොලර් 5,000ක පෞද්ගලික වියදම් සම්බන්ධ චෝදනාවක් මත ඇප නොලැබෙන සේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිටුපස ඇත්තේ දේශපාලන වෛරය බවද ඔහු පැවසීය.

මෙම මර්දනය හුදෙක් හොරු ඇල්ලීමේ එකක් නොව, ප්‍රභාකරන්ගේ සහ වර්තමාන එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ පළිගැනීමේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමක් බව විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට දායක වූ මහ සංඝරත්නය, රණවිරුවන්, බුද්ධි අංශ නිලධාරීන් (සුරේෂ් සලේ, කරන්නාගොඩ, උලුගෙතැන්න ඇතුළු) සහ දේශපාලන නායකත්වයෙන් පළිගැනීමට විදේශීය බලවේග සහ බෙදුම්වාදීන්ගේ උවමනාවට ආණ්ඩුව කටයුතු කරන බවට ඔහු චෝදනා කළේය.

ජනප්‍රිය පුවත්  බැසිල් රාජපක්ෂට වරෙන්තු

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ පිරිස් දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා අතිශය භයානක සහ මර්දනකාරී නව පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන බවත්, එමඟින් සිවිල් ක්‍රියාකාරකම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, සාමකාමී විරෝධතා සහ මාධ්‍ය නිදහස පවා “ත්‍රස්තවාදී ක්‍රියා” ලෙස අර්ථකථනය කර මර්දනය කිරීමට ඉඩ සැලසෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අවුරුදු 2500ක උරුමයට සහ රටේ ආරක්ෂාවට අත තැබීමට වසර පහකට බලයට ආ “කල්ලතෝනි” පාලකයන්ට ඉඩ නොතබන ලෙසත්, ගින්දර අළු යට තබාගෙන සිටින සමයක සුළඟක් හමන විට එය මහා ලැව්ගින්නක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

එබැවින් මෙම රට විනාශ කරන මර්දනකාරී ගමනට එරෙහිව මහා සංඝරත්නය සහ රටේ පොදු ජනතාව එකමුතුව පෙළගැසිය යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x