October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

1 min read

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඊයේ (24) රාත්‍රී 11.30 වන විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණු බවය.

මෙම පද්ධතිය අද (25) වන දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්‍රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම පද්ධතිය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, හෙට (26) දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවට තවදුරටත් තීව්‍ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

ජනප්‍රිය පුවත්  ආපදා වන්දි ලක්ෂ 50 දෙන්නේ තක්සේරුව ලක්ෂ 50ක් නම් පමණයි!

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x