සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! – පුබුදු ජයගොඩ
1 min read
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ශිෂ්‍යභට පුහුණු හුවමාරුව, ආරක්ෂක විශ්වවිද්‍යාල සහයෝගීතාව සහ අවි නඩත්තුව වැනි සුළු ගිවිසුම් අත්සන් කිරීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා වැනි ඉහළ පෙළේ නිලධාරියෙකු පැමිණි බව පැවසීම පිළිගත නොහැකි බවත්, මෙවැනි සාමාන්‍ය ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ අමාත්‍යාංශ මට්ටමේ පහළ නිලධාරීන් විසින් බවත්ය.
මීට පෙර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙරට සංචාරය කළේ මීට වසර 38කට පෙර, එනම් 1988 වසරේ පැවති උණුසුම් වාතාවරණය හමුවේ බව මතක් කරදුන් ජයගොඩ මහතා, වසර 38කට පසු සිදුවූ මෙම සංචාරයේදී මීට වඩා බරපතල එකඟතාවයන් ඇති වන්නට ඇති බවට සැක පළ කරයි.
එමෙන්ම, 2025 ජනවාරි මාසයේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සහ 2025 අප්‍රේල් මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ලංකා සංචාරයේදී අත්සන් කළ ගිවිසුම්ද මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව පැවසූ ඔහු, වත්මන් ආණ්ඩුව සියලු රාජ්‍යතාන්ත්‍රික කටයුතු ජනතාවට හොරෙන් සිදුකරන බවට චෝදනා කරමින් එම සියලු රහසිගත එකඟතා රට හමුවේ අනාවරණය කළ යුතු බව අවධාරණය කළේය.
