ඉන්දියාවෙන් ලංකාවට වියළි මිරිස් යවන්න එපා – ඉන්දියානු මිරිස් අපනයනකරුවන්
1 min read
නැවත දැනුම් දෙනතුරු ශ්රී ලංකාවට වියළි රතු මිරිස් අපනයනය කිරීම තාවකාලිකව නවතා දමන ලෙස ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය (Chillies Exporters Association India) විසින් එම සංගමයේ සාමාජිකයන්ට, මිරිස් අපනයනකරුවන්ට සහ අනෙක් පාර්ශ්වයන්ට දැනුම්දී ඇත.
පවතින ගිවිසුම්ගත බැඳීම්වලට යටත්ව, මෙම අත්හිටුවීමේ කාලය තුළ ශ්රී ලංකාව සමග නව අපනයන ගිවිසුම්වලට එළැඹීමෙන් වැළකී සිටින ලෙසද සාමාජිකයන්ට ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය දැනුම්දී තිබේ.
එම සංගමය විසින් සිය සාමාජිකයන්ට නිකුත් කරන ලද නිවේදනයක සඳහන්කර ඇත්තේ ඉන්දීය වියළි රතු මිරිස් වෙළෙඳාමට බලපාන වත්මන් ගැටලු විසඳීමේ අරමුණින් සහ මිරිස් කර්මාන්තයේ නියුතු අපනයනකරුවන්ගේ, වෙළෙඳුන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන බවය.
මේ අතර, ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය විසින් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්රි ශ්රී ලාවු ක්රිෂ්ණ දේවරායුලු වෙත ලිපියක් යවමින් සඳහන්කර ඇත්තේ ශ්රී ලංකා වරායවල රඳවාගෙන ඇති ඉන්දීය වියළි මිරිස් තොග නිදහස් කර ගැනීම සඳහා උසස් මට්ටමේ රාජ්යතාන්ත්රික මැදිහත්වීමක් සිදු කරන ලෙසය.
ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට අපනයනය කරනු ලබන වියළි රතු මිරිස් තොග දිගින් දිගටම වරාය පරිශ්ර තුළ පරීක්ෂණ සඳහා රඳවාගෙන තබා ගැනීම නිසා ප්රාග්ධනය අහිමිවීම, භාණ්ඩවල ගුණාත්මකභාවය අඩුවීම, රඳවා ගැනීමේ ගාස්තු ඉහළ යාම යන කාරණා හේතුවෙන් අපනයකරුවන් බරපතළ මූල්ය දුෂ්කරතාවන්ට පත්ව සිටින බවය. වියළි මිරිස් එක් නැව්ගත කිරීමක් සඳහා රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් වැය වන බවද අදාළ ලිපියේ සඳහන්කර තිබේ.
තෙතමනයට අදාළ නිරීක්ෂණ හේතුවෙන් වියළි මිරිස් තොග ශ්රී ලංකා වරාය පරිශ්ර දින 60 කට වැඩි කාලයක් රඳවාගෙන තිබෙන බවද එම ලිපියේ දැක්වේ.
වියළි මිරිස් ස්වභාවයෙන්ම ආර්ද්රතාවය අවශෝෂණය කර ගන්නා ඒවා වන බවත්, තෙතබරිත තත්ත්වයන් යටතේ ප්රවාහනයේදී සහ දිගුකාලීනව ගබඩා කර තැබීමේදී තෙතමනය අවශෝෂණය කර ගැනීමේ හැකියාව පවතින බවද ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය අදාළ ලිපියේ සඳහන්කර තිබේ.
තෙතමනය සහ ඇෆ්ලාටොක්සින් (aflatoxin) යනු වෙනස් පරාමිතීන් දෙකක් වන බවත් ඒවා තක්සේරු කළ යුත්තේ වෙන වෙනම බවත්, ශ්රී ලංකා රජය විසින් බලය පවරන ලද විද්යාගාර මෙන්ම ඉන්දියානු කුළුබඩු මණ්ඩලය (Spices Board of India) විසින්ද මෙම භාණ්ඩ තොග දැනටමත් පරීක්ෂාවට ලක් කර තිබෙන බවද එම සංගමය පවසයි.
බලයලත් විද්යාගාරවල පැහැදිලි පරීක්ෂණ වාර්තා තිබියදීත්, ශ්රී ලංකා බලධාරීන් විසින් අඛණ්ඩව භාණ්ඩ තොග රඳවා තබා ගෙන සිටින බවද, චෙන්නායිහි පිහිටි ඉන්දියානු කුළුබඩු මණ්ඩලය මේ වන විටත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද අදාළ ලිපියේ සඳහන්කර ඇත.
ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ්හි විශාල අපනයනකරුවන් සහ ගොවීන් පිරිසක් ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර කෘෂිකාර්මික වෙළෙඳාම පවත්වාගෙන යන බැවින් මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා කඩිනමින් රාජ්ය තාන්ත්රික මැදිහත්වීමක අවශ්යතාවය පවතින බව ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේය.
ඉදිරියේදී වියළි මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි පසුගියදා මෙරට ආනයනකරුවන්ද අනතුරු ඇඟවූහ.
දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගෙන ආනයනික වියළි මිරිස්වලට අදාළ දැනට පවතින සියයට 12 ක තෙතමන සීමාව සියයට 13 ක් දක්වා සංශෝධනය වියයුතු බව මිරිස් ආනයනකරුවන් කියා සිටිති. මෙම ගැටලුව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන කුළු බඩුවලටද අදාළ බවත්, මේ සම්බන්ධව ඉන්දීය අපනයනකරුවන්ට සහ ඉන්දියාවේ කුළුබඩු මණ්ඩලයට (Spices Board of India) යොමු කර තිබෙන බවද දේශීය ආනයනකරුවන් කියා සිටිති.
ආනයනික මිරිස්වලට අදාළ රසායනාගාර පරීක්ෂණ කටයුතු ශ්රී ලංකා ප්රමිති ආයතනයට (SLSI) පවරන ලද නමුත්, අවසාන නිෂ්කාශනය පාලනය කරනු ලබන්නේ සෞඛ්ය අමාත්යාංශයේ ආහාර පරීක්ෂණ අංශය විසින් බැවින් මෙහිදී, නිලධාරීන්ගෙන් සිදුවන ප්රමාදයන් වළක්වා ගැනීමට අදාළව ආනයනික වියළි මිරිස්, කුළු බඩු ආදිය පරීක්ෂා කිරීමේ සහ මුදා හැරීමේ ක්රියාවලිය තනි, ඒකාබද්ධ අධිකාරියක් විසින් හැසිරවිය යුතු බවට මෙරට ආනයනකරුවන් යෝජනාවක්ද ඉදිරිපත් කරන ලදි.
මූලික නැව්ගත කිරීම් 65කින් බහලුම් 40කට වැඩි ප්රමාණයක් පරීක්ෂා කිරීම ප්රමාදවීම නිසා මාස දෙකහමාරකට අධික කාලයක් රේගුවේ සිරවී තිබෙන බවත්, එක් බහලුමක් සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 17ක් පමණ ආයෝජනය කර ඇති බැවින් තමන් දැඩි මූල්ය අර්බුදයකට පත්ව සිටින බවද දේශීය ආනයනකරුවෝ කියා සිටිති.
ආනයනය කරනු ලබන වියළි මිරිස් තොග වෙළෙඳ පොළට නිකුත් කිරීම දිගින් දිගටම ප්රමාදවීම නිසා මෙරට තුළ මිරිස් කුඩු නිෂ්පාදන කර්මාන්තයේ නිරත ව්යාපාරිකයන්ටද අමු ද්රව්ය නොමැතිව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවන බවද ආනයනකරුවන් සඳහන් කරති. මේ නිසා මිරිස් කුඩු, කුළු බඩු ආදියෙහි මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවද ඔවුන් අනතුරු අඟවති.
