September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

1 min read

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

ඒ සැකකරුවන් රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.

පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ඒවා මිලදී නොගෙන වෙනත් පුද්ගලික සමාගමකින් ඒවා මිලදී ගැනීමට කටයුතු සැලසීම තුළින් රජයට රුපියල් ලක්ෂ 79ක පාඩුවක් සිදු කර දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට මෙම සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනප්‍රිය පුවත්  ගාස්තු සංශෝධනයක් ඉල්ලා පෞද්ගලික බස් වර්ජනයකට සූදානමක්!

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ රත්වත්තේ යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී තිබෙන බව සඳහන් කළහ.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී ඇප පනත යටතේ මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට තීරණය කරන බව මහේස්ත්‍රත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඉන් අනතුරුව මෙම නඩුකරය නොවැම්බර් මස 17 වන දා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x