October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැය 24 පුරා සේවය සැපයීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නෑ..- GMOA

1 min read

ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට ඇති පොරොත්තු කාලය ඉහළ යාම, වෛද්‍යවරයකුට එක් රෝගියකු වෙනුවෙන් වෙන් කළ හැකි කාලය සීමා වීම සහ සායනික තීරණ ගැනීමේදී අවදානම් මතුවීම වැනි බරපතළ ගැටලු රැසක් පැනනැඟී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙයි.

ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මත පැටවෙන අධික වැඩබර සේවාවේ ගුණාත්මකභාවය පහත වැටීමට සෘජුවම බලපාන බැවින්, මෙය හුදු පරිපාලනමය ක්‍රියාවලියකින් ඔබ්බට ගිය ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බව ද එම සංගමය සඳහන් කරයි.

රෝහල්වල කාර්ය මණ්ඩල තීරණය කිරීමේදී රෝගීන්ගේ සංඛ්‍යාව පමණක් නොව, පැය 24 පුරා සැපයෙන සේවාවන්හි සංකීර්ණත්වය, සායනික අවශ්‍යතා, භූගෝලීය සාධක මෙන්ම වෘත්තීය නිපුණතා ද සැලකිල්ලට ගනිමින් විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතු වේ.

සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම සඳහා, විද්‍යාත්මක කාර්ය මණ්ඩල තීරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම, නිශ්චිත කාල රාමුවක් තුළ කාර්ය මණ්ඩල සංශෝධනය සිදු කිරීම සහ සුදුසු සේවා ප්‍රමිතීන් හා අවම පහසුකම් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම, සෞඛ්‍ය සේවකයන්ගේ නිපුණතා සහ භූගෝලීය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔවුන් නිසි පරිදි ස්ථානගත කිරීම මෙන්ම අවශ්‍ය පුහුණු අවස්ථා සහ වෘත්තීය සංවර්ධනය සහතික කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහළින්..

මාධ්‍ය නිවේදනය

සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා විද්‍යාත්මක හා ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අත්‍යවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරමින් ජනතාවට සුරක්ෂිත, ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ප්‍රමාණවත්, නිසි පුහුණුවක් සහිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

ජනප්‍රිය පුවත්  සෙවනගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසා දමයි..

රටක සෞඛ්‍ය පද්ධතියේ සාර්ථකත්වය තීරණය වන්නේ සෞඛ්‍ය ආයතන වල භෞතික පැවැත්මෙන් පමණක් නොවේ. එම ආයතන තුළ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රමාණවත්භාවය, නිපුණතාව, නිසි ස්ථානගත කිරීම සහ රෝගීන් සඳහා වෙන් කළ හැකි කාලය ද සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධාන සාධක වේ.

ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැතිව සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කළ නොහැකිය.

ප්‍රමාණවත් නොවන කාර්ය මණ්ඩලයක් යටතේ අධික රෝගී සංඛ්‍යාවකට සේවා සැපයීමට සිදුවීමෙන් රෝගීන්ගේ පොරොත්තු කාලය ඉහළ යාම, එක් රෝගියෙකු වෙනුවෙන් වෙන් කළ හැකි කාලය සීමා වීම සහ සායනික තීරණ ගැනීමේදී ඇති විය හැකි අවදානම ඉහළ යාම වැනි ගැටලු ඇතිවිය හැකිය. එමෙන්ම, සෞඛ්‍ය වෘත්තිකයන් මත ඇතිවන අධික වැඩබර ද සේවාවේ ගුණාත්මකභාවයට සහ සෞඛ්‍ය පද්ධතියේ තිරසාර පැවැත්මට බලපායි.

එබැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කිරීම හුදෙක් පරිපාලනමය කාර්යයක් ලෙස නොව, රෝගී ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය සම්බන්ධ ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුය.

විද්‍යාත්මක පදනමක් මත කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට නිදහස් ප්‍රවේශයක් පැවතීම සහ රෝගීන්ට විවිධ සෞඛ්‍ය ආයතන වලින් සේවා ලබාගැනීමට ඇති හැකියාව සෞඛ්‍ය පද්ධතියේ වැදගත් ලක්ෂණ වේ. එහෙත්, එම සේවාවන් සැබෑ ලෙසම ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් නිසි පරිදි සැලසුම් කළ යුතුය.

රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කිරීමේදී රෝගීන්ගේ සංඛ්‍යාව පමණක් නොව, සේවා ලබාගැනීමේ රටාව, රෝගීන්ගේ සායනික අවශ්‍යතා, සේවාවේ සංකීර්ණත්වය, දිනපතා හා පැය 24 පුරා පවත්වාගෙන යා යුතු සේවා, භූගෝලීය සාධක සහ අදාළ වෘත්තීය නිපුණතා ද සැලකිල්ලට ගත යුතුය.

ඒ අනුව, පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද, නිවැරදි සේවා දත්ත සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට විශේෂිත වූ අවශ්‍යතා පදනම් කරගෙන කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ.

ජනප්‍රිය පුවත්  ඔන්ලයින් ණය මුදල් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ අවසන් කාර්ය මණ්ඩල සංශෝධනය 2015 වසරේ සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එබැවින් වර්තමාන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සහ වැඩබරට ගැළපෙන පරිදි කාර්ය මණ්ඩල අවශ්‍යතා නැවත ඇගයීම සහ සංශෝධනය කිරීම කඩිනමින් සිදු කළ යුතුය.

නිසි සේවා ප්‍රමිතීන් සහ රෝගීන් සඳහා ප්‍රමාණවත් කාලයක්.

රෝගීන් සඳහා ආරක්ෂිත හා ගුණාත්මක ප්‍රතිකාර ලබාදීමේදී, එක් එක් සේවා කාර්යයට අවශ්‍ය කාලය සහ අවම පහසුකම් විද්‍යාත්මකව නිර්ණය කිරීම ද වැදගත් වේ.

බාහිර රෝගී අංශවල පළමු හමුවීම්, නැවත පරීක්ෂා කිරීම්, රෝහල්ගත කිරීම් සහ අනෙකුත් සායනික කාර්යයන් සඳහා අවශ්‍ය කාලය රෝගියාගේ තත්ත්වය සහ සේවාවේ ස්වභාවය අනුව වෙනස් වේ. එබැවින් සියලුම රෝගීන්ට එකම කාල සීමාවක් යෙදීම වෙනුවට, සායනික අවශ්‍යතා සහ පිළිගත් සාක්ෂි මත පදනම් වූ සුදුසු සේවා ප්‍රමිතීන් හඳුන්වා දිය යුතුය.

එම ප්‍රමිතීන්ට අනුව සේවය සැපයීමට අවශ්‍ය වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්, භෞතික පහසුකම් සහ උපකරණ ලබාදීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි.

කාර්ය මණ්ඩල සංශෝධනයට සමගාමීව අවශ්‍ය ප්‍රතිසංස්කරණ.

සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම සඳහා පහත පියවර කඩිනමින් ගන්නා ලෙස රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

  1. විද්‍යාත්මක කාර්ය මණ්ඩල තීරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම:

පිළිගත් ක්‍රමවේද, සත්‍ය සේවා දත්ත සහ දේශීය අවශ්‍යතා මත පදනම්ව වෛද්‍යවරුන් ඇතුළු සියලු අදාළ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කළ යුතුය.

  1. නිශ්චිත කාල රාමුවක් තුළ කාර්ය මණ්ඩල සංශෝධනය සිදු කිරීම:

සෞඛ්‍ය සේවා අවශ්‍යතා වෙනස්වීම අනුව නියමිත කාල පරාසයන් තුළ කාර්ය මණ්ඩල සැලසුම් නැවත සමාලෝචනය කර සංශෝධනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.

  1. සුදුසු සේවා ප්‍රමිතීන් සහ අවම පහසුකම් හඳුන්වා දීම:
ජනප්‍රිය පුවත්  ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..

රෝගීන් සඳහා අවශ්‍ය සායනික කාලය, සේවා පහසුකම් සහ අවම සම්පත් ප්‍රමාණය තීරණය කර ඒවා ප්‍රායෝගිකව සැපයිය යුතුය.

  1. කාර්ය මණ්ඩල නිසි පරිදි ස්ථානගත කිරීම සහ වෘත්තීය සංවර්ධනය:

සෞඛ්‍ය සේවකයන්ගේ නිපුණතා, සේවා අවශ්‍යතා සහ භූගෝලීය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔවුන් නිසි පරිදි ස්ථානගත කළ යුතු අතර, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සහ අවශ්‍ය පුහුණු අවස්ථා ද සහතික කළ යුතුය.

  1. අවශ්‍ය වෘත්තීය මට්ටම් සහ අතරමැදි කාර්ය මණ්ඩල ව්‍යුහයන් සමාලෝචනය කිරීම:

සේවා අවශ්‍යතා සහ නිපුණතා මට්ටම්වලට ගැළපෙන වෘත්තීය ව්‍යුහයන් හඳුන්වා දීම හෝ වැඩිදියුණු කිරීම පිළිබඳව සලකා බැලිය යුතුය.

නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම ජාතික වගකීමකි.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාව සතු වටිනාම සමාජ සම්පත්වලින් එකකි. එහි අනාගතය තහවුරු කළ හැක්කේ සෞඛ්‍ය සේවාවට ප්‍රවේශය පවත්වාගෙන යාමෙන් පමණක් නොව, එම සේවාව ප්‍රමාණවත් සම්පත් සහිතව, සුරක්ෂිතව, කාර්යක්ෂමව හා ගුණාත්මකව පවත්වාගෙන යාමෙනි.

එබැවින් විද්‍යාත්මක පදනමක් මත කාර්ය මණ්ඩල අවශ්‍යතා නිර්ණය කිරීම, කාලෝචිත කාර්ය මණ්ඩල සංශෝධනය, සාධාරණ සේවා ප්‍රමිතීන් සහ අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා රජය කඩිනම් හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

මෙම ප්‍රතිසංස්කරණ වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අවශ්‍යතා සඳහා පමණක් නොව, සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් හිමිවීම තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x