පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
1 min read
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
උන්වහන්සේ විසින් මෙම ලිපියේ පිටපතක් පොලිස්පතිවරයා වෙත ද යොමු කර ඇති බව වාර්තා වේ.
අමරපුර සිරි සද්ධර්ම යුක්තික (මාතර) පාර්ශවයේ උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්රධාන සංඝනායක මෙන්ම උතුරු – නැගෙනහිර සාමග්ග්රි මහා සංඝසභාවේ මහා ලේඛකාධිකාරී පූජ්ය පනාමුරේ තිලකවංශ හිමියන් පෙන්වා දෙන්නේ, මෙම උරුමයන් රැකීමේ ක්රියාදාමය නිසා පසුගිය රජය මගින් ජීවිත ආරක්ෂාව සඳහා ඇමති ආරක්ෂක ඒකකයෙන් ලබා දී තිබූ සමීප ආරක්ෂක නිලධාරීන් දෙදෙනා වහාම ක්රියාත්මක වන පරිදි ඉකුත් 12 වැනිදා සිට ආරක්ෂක රාජකාරියෙන් ඉවත් කර ඇති බවයි.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමට එරෙහිව අන්තවාදී සහ ජාතිවාදී කල්ලි කණ්ඩායම් විසින් අධිකරණයේ නඩු 15 කට අධික ප්රමාණයක් ගොනු කර ඇති බවත්, උන්වහන්සේ වැඩම කරන අවස්ථා නිරීක්ෂණය කරමින් සැලසුම් සහගතව හානියක් කිරීමට පිරිස් මාන බලමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් උන්වහන්සේ එම ලිපියේ සඳහන් කර ඇත.
මෙහිදී මෑතකදී සිදුවූ ආරක්ෂක අවදානම් සහිත සිදුවීම් දෙකක් ද උන්වහන්සේ පෙන්වා දී තිබේ. කින්නියා ප්රදේශයෙන් පැමිණි මුස්ලිම් තරුණ පිරිසක් පිහි රැගෙන විහාරස්ථානයට පැමිණ කලබල කළ අවස්ථාවේදී, එසැණින් ක්රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, පැවති පොසොන් මහා පින්කම් අවස්ථාවේදී මග දෙපස දමා තිබූ කොඩි සැරසිලි කඩා ඉරා දමා කොඩි කණු ද අස්ථානගත කළ බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව, පවතින ජීවිත අවදානම් තත්ත්වය සලකා බලා, ශාසනික හා ජාතික වගකීම් වෙනුවෙන් උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර මඩකලපුව, අම්පාර වැනි ප්රදේශවලට ද වරින් වර වැඩම කිරීමට සිදුවන බැවින්, අවි සමඟම වෙනත් ප්රදේශවලට ද රැගෙන යා හැකි පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබා දෙන ලෙස නායක හිමියෝ එම ලිපිය මගින් ඉල්ලා සිටිති.
