හොරණ බැංකු කොල්ලයේ සුලමුල හෙළිවෙයි | සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට
1 min read
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අනුව, එම බැංකුවේම සහකාර කළමනාකරුවකු සහ ආරක්ෂක නිලධාරියකු බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැවැන්ත මූල්‍ය කොල්ලය පිළිබඳව සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් සහ සාක්ෂි විමර්ශනවලින් අනතුරුව අද (05) පෙරවරුවේ අදාළ නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එහිදී අනාවරණය වූ කරුණු මත පදනම්ව වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම මහාපරිමාණ කොල්ලකෑමේ සිද්ධිය පිටුපස ඇති සැබෑ තොරතුරු සහ ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් කොටුකර ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබේ.
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහ අපරාධ අංශ ස්ථානාධිපති රංග දිසානායකගේ සෘජු මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.
බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන ඒකකය විසින් මීට සමාන්තරව තවත් විශේෂ පරීක්ෂණයක් දියත්කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි සෙවීම සහ කොල්ලකන ලද මුදල් සොයාගැනීම සඳහා වන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකය.
