හිඟන්නාට ”පවුඩර්” දැමීම
1 min read
ජනාධිපති අනුරට දැන්නම් මංඤ්ඤං විය යුතුය. රටේ ආර්ථිකය ඇත්තේ ගිනි ගොඩකය. එහෙන් ජලය කපනවා ය. මෙහෙන් ඉන්ධන මිල ගිනි ගණන් ය. විදුලිය බිල ද නහුතෙට නග්ගවලා ය. කන බොන යන එන සියලු දේ ඉහළ ගිහිල්ලා ය. මිනිස්සු ඉන්නේ හතේ හත වැදී ය.!
ගොවියන්ට වගාවට පොහොර නැත.! වගාවට දෙන වතුර ද නැතිවෙන හැඩය. එයින් කියැවෙන්නේ නුදුරු අනාගතයේ දී ආහාර හිඟයක් උදාවන බව ය.
සිංහල අලුත් අවුරුද්ද මස්ත බාල්දු කරමින් ගෑස් මිල ද නැග්ගුවා ය. අවුරුද්දෙන් පසු විදුලිය කපන්නට සැරසෙන බව පැහැදිළි ය. රෑට පත්තු කරන ”ලයිට්” උදේට පත්තු කරන්නැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනිය කියන්නේ මේ අල්ල පනල්ලේ ය.!
වෙන්න තියන අලකලංචි ඔක්කොම වෙමින් ඇත. ප්‍රශ්නය ඇත්තේ මහජනයාට මලේ මල පනින්නේ කවදා ද යන්න අප නොදන්නා බවය. එහෙත් රට යමින් තිබෙන්නේ මල පනින දිශාවට බව මොළේ කළදක් හරි තියෙනවුන්ට වැටහෙන්නේ ය.
කාට වැටහුණත් ඒ බව ජනපති අනුරට හෝ අනුරගේ ආණ්ඩුවට වැටහී තිබෙන බවනම් පෙනෙන්නේ නැත. මේ උන්දෑලා තවමත් කරමින් සිටින්නේ ”හිඟන්නාට පවුඩර්” දැමීමය.
ජනාධිපති ඊයේ (05) නිලධාරීන්ට කීවේ ඩිජිටල් ආර්ථිකය ගොඩනගන විදිය ගැන ය. QR ක්‍රමයට මුදල් ගෙවන්නට ඉඩ සැලසීම ගැනය. QR ක්‍රමයට හෝ AKD ක්‍රමයට හෝ ගෙවන්නට මිනිස්සු අතේ මුදල් තිබිය යුතුය. තියෙන මුදලෙන් දිවි ගෙවාගත නොහැකිව එක වේලක් කා ජීවත්වන මිනිසුන් 31%ක් සහිත රටක ජනාධිපතියා QR ක්‍රමය දෙන්න හදන්නේ මුදල් ගෙවන්නට ය. ලඟ හිටියානම් හොම්ඔට දෙකක් ඇන හෝ කෝපය පිටකරගත හැකිය. කරුමෙට ජනපතියා ඉන්නේ ඈත ය.
මහ බැංකුව ඩොලර් මිලියන 71ක් මුදල් වෙළඳ පොළට අලෙවි කරන්නේ, වෙළඳ පොලේ ඩොලර් හිඟයක් ඇති නිසාය. රුපියල ඩොලරයට සාපේක්ෂව බාල්දු වීමෙන් පේන්නේ ඒ බව ය. ණය ගෙවන්නට ගොඩගසා ගත් ඩොලර් මිලියන ගණනින් වෙළඳපොළ තුළ අළෙවිකරන විට දිය වන්නේ සංචිතය ය. සංචාරකයෝ එන්නෙත් අඩුවෙන් ය. මැද පෙරදිග රස්සා ද ඇත්තේ අනතුරේ ය. එනිසා විදේශ ප්‍රේෂණ වෙතින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද වෙනදා තරමටම ලැබෙනු ඇතැයි සිතිය නොහැක.
ගල් අඟුරු හොරකම නිසා දැන් විදුලිය නිපදවන්නේ ඩීසල් වලින් ය. ඒ නිසා ඩීසල් ඉල්ලුම වැඩි වී ඇත. ඒවාට වැය වන්නෙත් ඩොලර් ය. එහෙත් මෙහෙවු රටක අනුර කුමරුන් කතා කරන්නේ QR ක්‍රමයට මුදල් ගෙවන විදිය ගැන ය.
මරණ 3ක් නොව 10ක් පමණ ඇති මිනිහෙක් පැණි කෑ හැටි නොදැක්කේනම්, ජනපති පෙන්වමින් තිබෙන්නේ එය ය. පිස්සු තද වී තිබෙන උදවිය නරඹා ප්‍රීතිවේවා!
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
