July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරාබදු තීරණයට සමාගම්වලින් රතු එළි

1 min read

මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සිදු වන අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණයට මෙරට මත්පැන් නිෂ්පාදකයන් සිය දැඩි විරෝධය පළ කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම නව නිවේදනය හේතුවෙන් දැනට ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 23ක අතිවිශාල බදු මුදලක් ගෙවනු ලබන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම්වලට නැවත වරක් බදු ගෙවීමට සිදුවන බව නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් තවදුරටත් සිය නිෂ්පාදන කටයුතු කරගෙන යාම අසීරු වී ඇති බව එම සමාගම් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.

මත්පැන් නිෂ්පාදනයේදී මෙන්ම ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී මධ්‍යසාර වාෂ්ප වීමේ සිදුවීම් බහුලව වාර්තා වන බව නිෂ්පාදකයින් සඳහන් කරයි.

විශේෂයෙන්ම බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී සහ නවීන යන්ත්‍ර මඟින් සිදුකෙරෙන බෝතල් කිරීමේ ක්‍රියාවලියේදී මෙසේ මධ්‍යසාර වාෂ්ප වීම් විශාල වශයෙන් සිදු වේ.

මීට අමතරව රජයේ රස පරීක්ෂකවරයා වෙත මත්පැන් බෝතල් යොමු කිරීමේදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා මත්පැන් බෝතල් තොගද ගණනය කෙරෙන්නේ මෙම අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය යටතේ වීම විශේෂත්වයකි.

ජනප්‍රිය පුවත්  උතුරේ මහ විරු සැමරුම් ජයටම… ප්‍රධාන සැමරුම වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළේ….!

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අංක 991 දරණ සුරාබදු නිවේදනය මඟින් පසුගිය ජූලි මස 24 වෙනිදා මෙම නව සංශෝධිත නිවේදනය නිකුත් කර ඇත්තේ පරිපාක, පොල් හා තල් ස්ප්‍රීතු නිෂ්පාදන ඇසුරින් පමණක් ලබාගන්නා අපතේයාම් පිළිබඳ සැලකිල්ලට ගනිමිනි.

මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබූ අංක 151 දරණ නිවේදනයේ සඳහන් මධ්‍යසාර අපතේයාමේ ප්‍රතිශතය, සංශෝධිත 991 දරණ නිවේදනය මඟින් මෙලෙස අඩුකිරීම අත්තනෝමතික ක්‍රියාවක් බව මත්පැන් නිෂ්පාදකයෝ අවධාරණය කරති.

එබැවින් මෙම අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය අඩු කිරීමට පෙර, මෙම අපතේයාම් සිදුවන්නේ කෙසේද, කුමන කරුණු මතද සහ ඒ සඳහා බලපාන විද්‍යාත්මක සාධක මොනවාද යන්න පිළිබඳව නිවැරදි, ප්‍රායෝගික හා විද්‍යානුකූල පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව නිෂ්පාදකයින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x