ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම සියයට 17.3% අඩුවෙයි….!
1 min read
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන භෝගයක් වන තේ කර්මාන්තයට සහ ඊට අනුබද්ධ බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. රාජ්‍ය අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම දත්තවලට අනුව, පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම සියයට 17.3 කින් පහත වැටී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 114.75 ක් දක්වා ය.
ලංකාවේ ලොකුම තේ ගැනුම්කරුවා වන ඉරාකයට සිදු කරන අපනයන සියයට 38 කින් පහත වැටී ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිදු කරන අපනයන සියයට 93 කින් සීමා වී ඇත.
ශ්‍රී ලංකාවේ සමස්ත සෙයිලාන් තේ අපනයනයෙන් ආසන්න වශයෙන් අඩක්ම, එනම් ඩොලර් මිලියන 680 කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව අපනයනය කරනු ලබන්නේ මැදපෙරදිග කලාපයටයි. මීට අමතරව ඉරානය වසරකට ලංකාවේ ප්‍රිමියම් ගණයේ තේ කිලෝග්‍රෑම් මිලියන 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් මිලදී ගනු ලබයි.
‘දිල්මා’ තේ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දිල්හාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ, පවතින නැව්ගත කිරීමේ සහ සැපයුම් දාම බාධාවන් හමුවේ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු කැනඩාව, දකුණු ඇමරිකාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි විකල්ප වෙළෙඳපොළවල් වෙත ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සිටින බවයි. මැදපෙරදිග කලාපයෙන් තම ව්‍යාපාර කටයුතුවලින් සියයට 30 ක් ලබන දිල්මා සමාගම, මේ වන විට ඉන්ධන සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාමේ දැඩි උද්ධමනකාරී පීඩනයකට මුහුණ දී සිටී.
