ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් පැමිණිල්ලක් | වාහන ආනයන බද්ද සංශෝධනයට රජය සැරෙසයි
1 min read
භාවිත කළ වාහන ආනයනයේදී අය කෙරෙන බදු සහ වටිනාකම් තක්සේරු කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
ඒ, ශ්‍රී ලංකාව අනුමත කර ඇති ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට පටහැනි ලෙස වාහන ආනයනයේදී බදු සහ වටිනාකම් තක්සේරු කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක වෙළෙඳ සංවිධානය (WTO) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා රේගුව එම පැමිණිල්ල බරපතළ ලෙස ගෙන ඇති අතර, ඊට විසඳුම් සෙවීම සඳහා මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි පැවසේ.
2016 වසරේ සිට ක්‍රියාත්මක බදු ක්‍රමවේදයට අනුව, ආනයනය කරන භාවිත කළ වාහනයක පිළිගත හැකි ගනුදෙනු වටිනාකම, එය ආනයනය කරන රටේ අදාළ නව වාහනයක (බදු රහිත) මිලෙන් අවම වශයෙන් සියයට 85ක් විය යුතුය.
මෙම ක්‍රමවේදය ජාත්‍යන්තර වෙළෙඳ නීති සමඟ සම්පූර්ණයෙන්ම අනුකූල නොවන බව නිලධාරීන් ද පිළිගෙන ඇති අතර, ඒ සඳහා සුදුසු සංශෝධන සකස් කරමින් සිටින බව සඳහන් වේ.
කෙසේවෙතත්, දැනට පවතින බදු ක්‍රමවේදය එකවර ඉවත් කළහොත් රජයේ ආදායම සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බැවින්, ක්‍රමානුකූල සංශෝධන ක්‍රමවේදයක් හඳුන්වා දීමට අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා ද පවත්වා තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ බැඳීම් ආරක්ෂා කර ගනිමින් රජයේ මූල්‍ය අවශ්‍යතාද සුරැකෙන පරිදි විසඳුමක් සොයා ගැනීමට එහිදී අවධානය යොමුව ඇති බවද මේ අතර වාර්තා වේ.
