විමල්ට තලංගම පොලිසියෙන් දැනුම්දීමක්
1 min read
බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට හෙට (22) උදෑසන 10.00 ට තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස පොලිසිය නියෝග කර ඇත.
මහනුවර බෝවල ප්‍රදේශයේ පදිංචි පහලවලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන නැමැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.
අදාළ දැනුම්දීමට අනුව වගඋත්තරකාර විමල් වීරවංශ මහතා එදිනට පොලිසිය වෙත නොපැමිණියහොත්, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 172 වගන්තිය යටතේ දඬුවම් කිරීම සඳහා ලබන 26 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව ද එම ලිඛිත නියෝගයේ සඳහන් කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අයුතු ජනරාශිය, අයුතු ඇතුළුවීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ තලංගම පොලිසිය විසින් ඊයේ (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

