August 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පෙත්සමක්!

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු සියලුම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ දයාසිරි ජයසේකර විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත නිල පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙම පෙත්සම යොමු කර ඇති අතර, අදාළ කැබිනට් තීරණය නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ දැඩි තර්ජනයක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මගින් සේවයේ නියුතු විනිසුරුවරුන්ට තවත් වසර දෙකක නිල කාලයක් සහ වරප්‍රසාද හිමිවන බැවින්, එය දූෂණ විරෝධී පනත යටතේ ‘අල්ලසක්’ හෝ ‘අනිසි වාසියක්’ (Gratification) පිරිනැමීමක් ලෙස සැලකිය හැකි බව පෙත්සම්කාර දයාසිරි ජයසේකර පෙන්වා දෙයි. එබැවින් අමාත්‍ය මණ්ඩලයේ මෙම පියවර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස අල්ලස් කොමිසමේ සභාපතිවරයාගෙන් සහ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටී.

දූෂණ විරෝධී පනත යටතේ නැගෙන චෝදනා

පෙත්සම මගින් දූෂණ විරෝධී පනතේ 93, 100, 104 සහ 111 යන වගන්ති උල්ලංඝනය වන ආකාරය සවිස්තරාත්මකව පෙන්වා දී ඇත. පනතේ 93 වැනි වගන්තියට අනුව විනිසුරුවරයෙකුට යම් වාසියක් හෝ වරප්‍රසාදයක් ලබාදීම අල්ලස් වරදක් වන අතර, 111 වැනි වගන්තිය යටතේ මහජන නිලධාරීන් ලෙස කැබිනට් මණ්ඩලය අනිසි වාසියක් ලබාදීමට කටයුතු කිරීම ‘දූෂණය’ නමැති වරදට යටත් වන බව පෙත්සමේ සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  ඉරානයට පැනවූ නාවික අවහිරතා ඉවත්කිරීමට ට්‍රම්ප් නියෝග කරයි | ‘රිපබ්ලිකන් පාර්ශවයෙන්’ දැඩි විවේචන

එමෙන්ම, යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහොත්, සිය විශ්‍රාම වයස පිළිබඳ තීන්දුව තමන් විසින්ම ගැනීමට විනිසුරුවරුන්ට සිදුවන බැවින් එහිදී බරපතළ හිතකාමී පරස්පරතාවයක් (Conflict of Interest) නිර්මාණය වන බවද පෙන්වා දී තිබේ. මීට අමතරව, නඩු ගොඩගැසී ඇත්තේ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල මිස ඉහළ අධිකරණවල නොවන බැවින් මෙම සංශෝධනය සාධාරණීකරණය කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

අල්ලස් කොමිසමෙන් ඉල්ලන සහන

මෙම පෙත්සම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ප්‍රධාන සහන කිහිපයක් ඉල්ලා ඇත. පනතේ 42 වැනි වගන්තිය යටතේ මේ පිළිබඳව මූලික විමර්ශනයක් පවත්වා අදාළ කැබිනට් තීරණයට සම්බන්ධ සියලුම අමාත්‍යවරුන්ගෙන්, අධිකරණ අමාත්‍යාංශයේ සහ නීති සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

එසේම, අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමෙන් වළකින ලෙස රජයට නියෝග කරන ලෙසත්, වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් දයාසිරි ජයසේකර සිය පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ජනප්‍රිය පුවත්  කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා යළිත් රිමාන්ඩ්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x