ලෝක වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලට තෙල් අරන්.. සිපෙට්කෝ දැවැන්ත පාඩුවක..- Public Finance
1 min read
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිල ගණන්වලට වඩා ඉහළ මිලකට ඉන්ධන මිලදී ගැනීම හේතුවෙන්, සංස්ථාවට මෙන්ම මෙරට පාරිභෝගිකයන්ට ද දැඩි මූල්‍ය අලාභයකට මුහුණ දීමට සිදුව ඇති බව ‘Public Finance’ ආයතනය පෙන්වා දෙයි.
එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, පසුගිය 2026 මැයි මාසයේදී ලෝක වෙළෙඳපොළේ පැවති සාමාන්‍ය මිල ගණන්වලට සාපේක්ෂව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් සඳහා සියයට 15ක් සහ ඩීසල් සඳහා සියයට 13ක් වැඩිපුර ගෙවා ඉන්ධන මිලදී ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිල ගණන් සහ රජයේ සහනාධාර (පෙට්‍රල් සඳහා රු. 20 සහ ඩීසල් සඳහා රු. 100) ද ඇතුළත්ව නිවැරදිව මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම්, 2026 ජූනි මාසය වන විට මෙරට වෙළෙඳපොළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 381ක් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 424ක් ලෙස පැවතිය යුතුව තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, වත්මන් මිල සූත්‍රයට අනුව ඩීසල් ලීටරයක් රුපියල් 407කට නියම කර ඇති අතර, එය සැබෑ පිරිවැයට වඩා රුපියල් 26ක වැඩිවීමකි. එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද පවතින සාධාරණ මිලට වඩා රුපියල් 9කින් ඉහළ මට්ටමක පවතී.
සංස්ථාව මෙලෙස පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝක වෙළෙඳපොළ මිලෙන් බැහැර වූ අධික පිරිවැයක් දැරීමට සිදුවීම බව ‘Public Finance’ ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
සංස්ථාවේ දත්තවලට අනුව සියලු පිරිවැය පියවා ගැනීම සඳහා පෙට්‍රල් ලීටරයක් රුපියල් 474කට සහ ඩීසල් ලීටරයක් රුපියල් 436කට අලෙවි කළ යුතුව ඇත. මේ හේතුවෙන්, ජූනි මාසයේ පැවති සිල්ලර මිල ගණන් අනුව සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 29ක සෘජු පාඩුවක් ලබන බවද එම වාර්තාව මඟින් අනාවරණය කර තිබේ. මේ අනුව, ශ්‍රී ලංකාව තුළ ඩීසල් ලෝක වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට අලෙවි වන අතරම, සංස්ථාව විසින් මිලදී ගත් අධික පිරිවැයට සාපේක්ෂව පෙට්‍රල් සහ ඩීසල් යන දෙවර්ගයම පාඩු පිට අලෙවි කිරීමට සිදුව ඇති බව එම ආයතනය අවධාරණය කරයි.
