July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යළි කතා ඇරඹීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟයි

1 min read

ගල්ෆ් කලාපයේ නවතම ගැටුම් නවතා සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වෙති.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය, එම නවතම සාකච්ඡා හි මුඛ්‍ය මාතෘකාව වේ. දෙරට අතර නොබෝදා අත්සන් කෙරුණු අතුරු සාම ගිවිසුම මේ වන විට, දැඩි අනතුරු දායක තත්ත්වයකට පත්ව ඇත.

ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමේ සඳහන් සියලු කරුණු පිලිබඳ තාක්ෂණික සාකච්ඡා යථාවත් කෙරේ. එම සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලු නෞකා සඳහා නිදහස් කලාපයක් බවට පත් කෙරේ.

එක්සත් ජනපදය සහ ඉරානය ජුනි 17 දා, කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමකට එළඹුණහ.

නවතම සාකච්ඡා හෙට (30), කටාර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ය.


ඉකුත් බ්‍රහස්පතින්දා (26), හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කරමින් සිටි නෞකාවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමත් සමග නව ගැටුම් ආරම්භ විය. අතුරු ගිවිසුම උල්ලංඝනය කිරීම පිළිබඳව දෙපසම එකිනෙකාට චෝදනා එල්ල කළහ.

යුද්ධය අවසන් කිරීම පිණිස එළැඹි ගිවිසුමට ගරු නොකෙරේ නම්, ඉරානය මිහිපිටින් තුරන් කරන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි තර්ජනය කිරීමත් සමග, කුවේටයේ සහ බහ්රේනයේ පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත ඊයේ (28) අළුයම ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.

ජනප්‍රිය පුවත්  ඉෂාරා සෙව්වන්දිට ඇමැති වහවැටෙයි!

ලෙබනනයේ, ඉරාන හිතවාදී හිස්බොල්ලා කල්ලිය වෙත, ඊශ්‍රායලය ද ඊයේ ප්‍රහාරයක් එල්ල කළේය. දකුණු ලෙබනනයේ පිහිටි එම කල්ලියට අයත් භූගත සංකීර්ණයක් ඉලක්ක කර එම ප්‍රහාර සිදු කෙරිණි. ඊට පෙර දින (27) ද, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ ප්‍රහාර එල්ල කළහ. ලෙබනනය සහ ඉරානය අතර ද මේ වන විට සටන් විරාමයක් ක්‍රියාත්මක ය. එහෙත්, දෙපස විසින් දිගින් දිගටම එය උල්ලංඝනය කරනු දක්නට ලැබේ. ඉරාන – එක්සත් ජනපද තිරසර සටන් විරාමයක් පිණිස, ලෙබනනයේ සියලු ප්‍රහාර වහා අවසන් කළ යුතු බව, ඉරානය තරයේ කියා සිටී.

බ්‍රහස්පතින්දා, හෝර්මුස් කලාපයේ ඉරාන ප්‍රහාරයෙන් අනතුරුව එක්සත් ජනපදය, ඉරාන ඉලක්ක වෙත ප්‍රති ප්‍රහාර එල්ල කළේය.


“තව දුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට බැරි බව පේනවා. අපි, අති සාර්ථකව ආරම්භ කළ හමුදා ක්‍රියාන්විතයෙන් ම මේක ඉවර කරන තැනකට අපව දැන් තල්ලුවෙමින් තිබෙනවා. ඒක එහෙම සිද්ධ වුණොත්, ඉරාන ඉස්ලාමීය ජනරජයක් මිහිපිට තව දුරටත් නොපවතීවී,” ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සඳහනක දැක්වීය.

ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයෙන් පැයක් ඉක්ම යන්නට මත්තෙන් එල්ල කළ ඉරාන මිසයිල ප්‍රහාර වලට එරෙහිව, කුවේටයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක විය. බහ්රේනය ද අනතුරු සයිරන් හඬ නිකුත් කළේය.

ජනප්‍රිය පුවත්  නයිජීරියාවේ පාස්කු ප්‍රහාර මාලාවක්! විශාල පිරිසක් මරුට!

ඉරාන ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත දැඩි අලාභ හානි නොවූ බව වාර්තා වේ. බහ්රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට හානි සිදු විය. ඊයේ ගල්ෆ් සයුරු කලාපයේ ගැටුම් හේතුවෙන් හානියට පත් නෞකාවක, කටාර් ජාතිකයකු ජීවිතක්ෂයට පත්වූ බව එම රාජ්‍යය නිවේදනය කළේය. එම හමුදා ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයකු තුවාළ ලද බව ද වාර්තා විය.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x