නීතිඥ සංගමය හා අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්..
1 min read
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම්දී තිබේ.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (29) පස්වරුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම්දී ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත්කරමින් රජීව් අමරසූරිය මහතා පවසා සිටියේ, මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැත්වූ බවය.
එහිදී සිය සංගමයේ ස්ථාවරය වන විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකරන ලෙස ඉල්ලා සිටි බව පැවසීය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බවත් පැවසීය.
