කතානායක ජගත් වික්‍රමසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් – සාක්ෂි 10ක් ද භාරදෙයි
1 min read
පාර්ලිමේන්තු කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ සහ වංචා චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂය අද (30) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල සමඟ කතානායකවරයාගේ දූෂණ ක්‍රියාවලට අදාළ ලිඛිත සාක්ෂි 10ක් ද කොමිසම වෙත භාර දී තිබේ.
මෙම පැමිණිල්ල මගින් නිල නිවාස අවභාවිතය, හිමි ඉන්ධන කෝටාව ඉක්මවා ලබා ගැනීම සහ රජයේ දේපළ පෞද්ගලික පරිහරණයට ගැනීම යන ප්‍රධාන චෝදනා කතානායකවරයාට එරෙහිව නැගී ඇත.
විශේෂයෙන්ම හිමි නිල නිවසට අමතරව වෙනත් නිවසක් භාවිතා කිරීම, එහි පෞද්ගලික කාර්ය මණ්ඩලයක් රඳවා තැබීම මෙන්ම නිල නිවසේ තිබූ ගෘහ භාණ්ඩ හා උපකරණ පෞද්ගලික නිවස වෙත රැගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී සාක්ෂි ඉදිරිපත් කර තිබේ.
මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා විසින් ද මෙම චෝදනා පිළිබඳව කරුණු අනාවරණය කර තිබූ නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පිවිතුරු හෙළ උරුමය පෙන්වා දෙයි.
පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උපුල් ගමගේ මහතා සඳහන් කළේ, අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස රටේ තෙවැනි පුරවැසියා වන කතානායකවරයාට එරෙහිව ලැබුණු මෙම සාක්ෂි මත පදනම්ව කටයුතු කරන ආකාරය අනුව එහි ස්වාධීනත්වය තහවුරු වන බවත්, මෙය ආණ්ඩුවට එරෙහි සටනක් නොව දූෂණයට එරෙහිව ගත් වගකීම්සහගත පියවරක් බවත්ය.
