April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෝඩිගේ හුණ්ඩුව

1 min read

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවකට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල කර විනාශ කරනු ලැබුවේ පසුගිය 04 වැනිදා ය. එම නැව සහ තවත් යාත්‍රා 2ක් ඉරානයේ සිට ඉන්දීය සාගර කලාපය වෙත පැමිණ තිබුණේ ඉන්දියාවේ ආරාධනාව මත ය. ඒ, ‘MILAN’ 26 නාවික හමුදා ප්‍රදර්ශනය හා අභ්‍යාසයට සහභාගී වනු පිණිස ය.

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව දියත් කරනු ලබන යුද අවධානම ඇතිව තිබිය දී පවා ඉරාන බලධාරීන් මේ නාවික හමුදා භට පිරිස් හා යාත්‍රා 3 ඉන්දියාවට එවන්නේ මිත්‍ර රටක ආරාධනාව නොසලකා හැරිය නොහැකි නිසා ය. ඒ වූ කලී රාජතාන්ත්‍රික බවට ඉහළින් පවත්නා සදාචාරමය වටිනාකම් ය.

අදාළ ප්‍රදර්ශනය හා නාවික අභ්‍යාසය අවසන් වූ පසු මෙම යාත්‍රා 3 පිටත් කළ යුතු තීරණය කරනුයේ ඉන්දියාව ය. තිරයෙන් පිටත තොරතුරුවලට අනුවනම්, එසේ කරන ලෙසට ඉන්දියාවට බලපෑම් කරනුයේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. විනාශකාරී යුද්ධය ආරම්භ වී තිබෙන හා එය වැඩෙමින් පවතින යථාර්ථයක් තුළ තමාගේ ආරාධනාව පිළිගෙන ආ ඉරාන නාවික යාත්‍රා යළි පිටත් වීමට ඉඩ දුන්නේ කුමන හේතු මත ද? එය හිතාමතාම එම යාත්‍රා සහ පිරිස ඇමරිකන් – ඊශ්‍රායල් හවුලේ ගොදුරක් බවට පත්වීමට ඉඩ හැරීම නොවේ ද?

ජනප්‍රිය පුවත්  හිඟන්නාට ''පවුඩර්" දැමීම

සියල්ල සිදුවීමෙන් පසු ඉන්දීය හමුදාවේ ජෙනරාල් උපේන්ද්‍ර ද්වීවේදි පවසා ඇත්තේ කුමක් ද?

‘‘ඉරාන නාවික නෞකාවක් ගිල්වීම ඇත්තෙන්ම අවාසනාවන්තයි. නමුත්, එය සිදුකරන ලද්දේ ජාත්‍යන්තර මුහුදේ දී. ඉරාන නෞකාව ඉන්දියානු මුහුදේ පවතින තාක් කල් ඔවුන් ආරක්ෂිතව සිටියා. නමුත් ඔවුන් ජාත්‍යන්තර මුහුදු තරණය කළ විට, ඊශ්‍රායල් උපාය මාර්ගික සහචරයන් ලෙස, අපගේ නව උපාය මාර්ගික ගිවිසුමේ කොටසක් ලෙස නැවේ නිශ්චිත ස්ථානය පිළිබඳව ඊශ්‍රායලට දැනුම් දීම අපගේ යුතුකම වුණා!“

ඔහු මේ ප්‍රකාශය සිදු කරනුයේ පසුගියදා ඉන්දියාවේ පැවති රයිසිනා සමුළුවේදී ය.

මෙය කුමන අන්දමේ පාවාදීමක් ද? තමන්ගේ ආරාධනාව මත තමන්ගේ උත්සවයට පැමිණි මිතුරා අනාරක්ෂිත තත්ත්වයක් තුළ ආපසු යවා, ඔහු සිටින ස්ථානය ගැන ද මිතුරාගේ සතුරාට දැන්වීම කළ හැක්කේ කුමන වර්ගයේ රටකට ද? මෙවැන්නවුන් විශ්වාසවන්ත මිතුරන් ලෙස පිළිගත හැක්කේ කවර වර්ගයේ ගොනුන්ට ද?

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව ද ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබ ඇත. මේ වනතුරුම එය රටේ මහජනතාවට පෙන්වා නැත. එය පවතින්නේ රහසිගතව ය. අවම සදාචාර වටිනාකමක් හෝ නියෝජනය නොකරන ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුම් ඇති කර ගැනීම ඉල්ලාගෙන කෑමක් බව තේරුම් ගැනීමට මේ සිදුවීම වුව ප්‍රමාණවත් ය.

ජනප්‍රිය පුවත්  පාතාල ප්‍රවර්ධනය

MILAN 26 ට සහභාගිවීමට සිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා යාත්‍රා අවසාන මොහොතේ එයට සහභාගී නොවන බව ඉන්දීය බලධාරීන්ට දැනුම් දුන්නේ ය. එවිට, ඉන්දීය රජයේ ROW ඔත්තු සේවාවට වෙන්න යන දේ වටහාගත නොහැකි ද? ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට එරෙහිව දියත් කර තිබෙන යුද්ධය ඉන්දීය සාගර කලාපයට කැඳවා ගැනීම, මුළු කලාපයටම අහිතකරවන බව ඉන්දියාව නොදන්නේ ද? දකුණු ආසියානු කලාපයේ ප්‍රබල රාජ්‍යය ලෙස තමන් ගැන සිතා සිටින ඉන්දියාව මෙමගින් පෙන්වා ඇත්තේ සිය සදාචාරමය වැහැරීම මිස අන් කවරක් ද?

ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ ද කරට අත දමාගෙන ආරක්ෂක ගිවිසුම ඇතුළුව ගිවිසුම් 7ක් අත්සන් කරවා ගත් ඉන්දියාව, ලංකාවේ කොළඹ වරායට ඇතුල් වන බාහිර රටවල නාවික යාත්‍රා පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (S.O.P) හදන්නේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස සලකා ද? ලංකාවේ වරායට පැමිණෙන බාහිර රටවලට අයත් නාවික යාත්‍රා සම්බන්ධ ප්‍රතිපත්තිය සෑදිය යුත්තේ ශ්‍රී ලංකා බලධාරීන් මිස අන් කවරෙක් ද?

පසුගියදා චීන සාගර ගවේෂණ යාත්‍රාවක් පැමිණ කොළඹ පසුකර මාලදිවයින වරායට ගොස් අවශ්‍ය පහසුකම් ලබා ගත්තේ, ඉන්දියාව හමුවේ මාලදිවයිනට ඇති කොන්දවත් ලංකාවේ පාලකයන්ට නැති බව ලොවටම පෙන්වමිනි.

ජනප්‍රිය පුවත්  ඩිල්කා සමන්මලී අභියෝගතා කුසලානය!

අපට කීමට ඇත්තේ ‘‘අහෝ ඉන්දියාව“ කියා පමණක් නොවේ. ‘‘අහෝ ලංකාව“ කියා ද කියැවෙන්නේ ය. ඉන්දියාව හමුවේ මාලදිවයිනට ඇති හයිය ලංකාවට නොමැති වූයේ ඇයි? ඒ ගැන අප සිතිය යුතුය.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x