පට්ට ක්ලීන් ය !
1 min read
රටේ කුණු ගොඩ ගැහෙන එක වලක්වන්නේ පළාත් පාලන ආයතනයන් ය. ඒ කියන්නේ මහනගර සභාව, නගර සභාව හා ප්‍රාදේශීය සභා විසින් කියාය. මේවායෙන් අති බහුතරයක බලය තියෙන්නේ පරමාදර්ශී මාලිමාවන්ට ය. ඔවුනට ඡන්දය දුන් රටේ උන්දැලා සිතා සිටියේ ඔවුනට හැම තැනම බලය ලබා දුන් විට, පට්ට විදියට පට් පට් ගාලා හැදෙන්නේ රටම කියාය. අද ජනාධිපති අනුර කුමාර එදා කීවේ අගමැතිකමයි, කැබිනට්ටුවයි දෙකම එකට දෙන්නේනම් රට මාස 6 න් ගොඩදාන බවය. මවිල් කෙලින් වෙන නහර ගැටගැහෙන එබඳු කතා ඇසූ මෙසිරිලක ඡන්දදායකයෝ ඒ ඉල්ලූ දෙක පමණක් නොව, ජනාධිපතිකම ද අගමැතිකම ද කැබිනට්ටුව ද පාර්ලිමේන්තුවේ 2/3 ක ද, ඡන්දයක් නොපවත්වාම පළාත් සභා ද, පළාත් පාලන ආයතන බහුතරයක ද බලය ඇතෙක් බරටම ලබා දුන්නේය. අන්දරේ ඉල්ලුවේ ගල ඔසවා කරමතින් තබනු කියාය. ජනමනයා, ගල ද, ගල පිට මඩ ද සියල්ලම ඔසවා දුන්නේ මසුරුබවකින් තොරවමය.
ලොකු ලොකු කතා ඕනෑම නැත. මේ දිනවල ආණ්ඩුවේ රෝහල්වල ද, පෞද්ගලික ඩිස්පෙන්සරිවල ද රෝගීන් සිටින්නේ පිරී ඉතිරී ගොස්ය. හැත්ත බුරුත්තටම ඇත්තේ උණ රෝගයන්නය. ඩෙංගු හැදී මැරී ඇති ගණන 30 කටද ආසන්නය. වැසි කාලයට පෙර වෙනදා සිදුකෙරුණු පරිසරය පවිත්‍රකිරීමේ කිසිදු මෙහෙයුමක් මෙදා සිදුවූයේ නැත.
ඩෙංගු මදුරුවාට පක්ෂ පාට ජාති ආගම් බේදයක් නැත. ඌ විඳින විට මාලිමාවට ඡන්ද දුන් උදවිය පමණක් තෝරා බේරා විඳින්නේ ද නැත. ඒ නිසා උගේ විදිල්ල සැමට සමානවය. පරිප්පුව කන්නේ කට්ටිය පොදුවේය.
ඩෙංගු මරණ වැඩිවෙන විට, එකපාරටම බදුල්ලේ විද්‍යාරත්නයා උදැල්ලක් අරන් උදුලු ගාන්නේය. අගමැතිනිය හා වටගලයා නගර සභා සේවකයාගේ භූමිකාවට ඇඳගන්නේය. පෑලියගොඩ මාළු වෙළඳපොළ පරිසරය තවත් පාපිස්සකගේ මූලිකත්වයෙන් ශුද්ධ කරන්නේය. අප්පට සිරි ගජ ! සෙට් එක දැන් ලෙසටම වැඩය. තාම ඒ වැඩේට බැස්සේ නැත්තේ ජනාධිපති පමණය. අඩුවකට ඇත්තේ එච්චරය.
කොළඹ බේරේ වැව අවට සැවැන්දරා සුවදින් පිරී ඉතිරි ගොස්ය. මේ කාලයේ බයියන් බේරෙට බැස්සුවේනම්, ආයෙ ගොඩට එන්නට හිතන්නේවත් නැත. බේරේ ඒ තරමටම “ක්ලීන්” ය.
මුන්දැලා බලය ගත් පසු පටන් ගත් එකම එක ව්‍යාපෘතිය “ක්ලීන් ශ්‍රී ලංකා” ය. සද්දෙ දමා පටන්ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” දැන් ඇත්තේ සමහරු හැඳගෙන සිටින ටී ෂර්ට් වල පමණක්මය. පොළොවේ සතරදෙස ඇත්තේ අපමණ කුණුය. කුණු අතර ජීවය ලබන මදුරුවන්ය ! ප්‍රතිඵලය, මදුරුවෝ කා මැරෙන මිනිසුන්ය. අප්පට සිරි වෙන්න ක්ලීන් කරමින් ඇත්තේ ඔය විදියටමය.
මේ නිසා, සියළු වැඩ අතහැර CID යේ ශානි බලන්නේ සලේගේ ගුද මාර්ගය ක්ලීන්දැයි කියාය. අගවිනිසුරුගේ විශ්‍රාම වයස දීර්ග කරන්න ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදන්නේ අධිකරණය ක්ලීන් කරන්නටය. අගමැතිනිය සල්වාරියක් ගහගෙන කුණු ඉවත් කරන තැනකට වී හිටගෙන ඉන්නේ ඇයට කරන්නට එහෙමටම වැඩක් ද නැති නිසාය. මෝල් කාන්තයානම් කියන්නේ ඇමතිවරු පට්ට “ක්ලීන්” රාජ්‍ය සේවකයෝ චුට්ටක්වත් “ක්ලීන්” නැත කියාය.
පෝලිමේ ගොස් මාලිමාවට තැපැල් ඡන්දය දුන් රාජ්‍යසේවකයන්ගේ ඔලුවට අත සෝදා ලාලා ක්ලීන් කරන්නේ ඒ විදියටය. මේ වූ කලි මල් පැලය ! ඇමැති මහින්දට අනුව “ඇබ්සොලීට්ලි” මල් පැලය ! අපට ඇත්තේ මේ මල් පැල ඉඹ ඉඹ සුවඳ ආග්‍රාණය කිරීමට පමණක්මය.
මේ ක්ලීන් කිරිල්ල මේ යන විදියට ගියහොත් රටෙන් බාගයක් ඉස්පිරිතාලේය. ආණ්ඩුවට විරුද්ධවූන්ගෙන් බාගයක් හිරේය. රාජ්‍ය සේවකයන්ගෙන් බාගයක් ද පරීක්ෂණ ආයතනවල රස්තියාදුවේය. දැනටමත් හැම දරුවො 5 කින්ම එකෙක් මන්දපෝෂණයේ ය. බදු බර පටවා දුප්පත්කම පැටව් ගසන්නේ පට්ට ක්ලීන් විදියටය. අවසානයේ අප සැමට කියන්නට වන්නේ ලෙඩා මලත් බඩ පට්ට “ක්ලීන්” කියාය.
අපටත් ඕනේ එච්චරය ! මොනා වුණත් අපි මාලිමාවට ය ! අවසානයේ සැවොම “සෙත්ත පෝච්චි” ය ! ඒත්, අපි මාලිමාවට ය !
