දක්ෂිණාංශික ඇල්ගොරිතම සහිත සමාජ මාධ්‍ය මෙහෙයවීම් ගැන යුරෝපීය සමීක්ෂණයක් අනතුරු අඟවයි
1 min read
ෆේස්බුක්, යූටියුබ් හෝ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඇල්ගොරිතම (Algorithm) යන යෙදුමෙන් අදහස් වන්නේ පරිශීලකයින් පෙලඹවීම සඳහා එම සමාජ මාධ්‍ය තුළ අඩංගු කළ හැකි රහස්‍ය චර්යා විධාන වර්ගයකි. උදාහරණයක් ලෙස ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ නරඹන වීඩියෝ, ඔබ කැමැත්ත (Like) පළ කරන දේවල් සහ ඔබ වැඩිපුර කාලය ගත කරන තේමා ඇල්ගොරිතමය විසින් නිරීක්ෂණය කරයි. ඉන් පසු එම දත්ත විශ්ලේෂණය කර, “මීළඟට ඔබ නැරඹීමට වැඩි ඉඩක් ඇති දේ“ කුමක් දැයි තීරණය කර එය ඔබේ තිරය මත පෙන්වයි.
එහෙත් මේ ඇල්ගොරිතම හැසිරවිය හැකි ආකාරය නිසා, සමාජ මාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව පෝෂණය කරණ මෙවලම් වේ යන මෙතෙක් පැවති විශ්වාසය අභියෝගයට ලක් කරන තොරතුරු යුරෝපීය රටවල් කිහිපයක තරුණ ප්‍රජාවගේ සමාජ මාධ්‍ය පරිශීලනය විශ්ලේෂණය කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට වඩා කූට ලෙස ඇල්ගොරිතම භාවිතය මගින් තරුණ පරිශීලකයන් අතර දක්ෂිණාංශික මතවාද තහවුරු කරන සමාජ මාධ්‍ය චර්යාවක් ගැන මෙම සමීක්ෂණය අනතුරු අඟවයි. ඇල්ගොරිතම දක්ෂිණාංශික අදහස් ඉස්මතු කිරීමටත් බෙදීම් ඇති කරන අන්තර්ගතවලට වැඩි අවධානයක් යොමුවෙන ලෙස අන්තර්ගතය ඉදිරිපත් කිරීමටත් යොදා ගැනෙන බව සමීක්ෂණය නිගමනය කරයි. එමගින් පෙන්නුම් කරන අන්දමට බොහෝ සමාජ මාධ්‍ය වේදිකාවල ව්‍යාපාරික ආකෘතීන් පදනම් වී ඇත්තේ චිත්තවේග උද්දීපනය කරන අන්තර්ගතයන් මතය. එමගින් යෞවනයන් අතර විශ්වාසය පළුදු වීම, ධ්‍රැවීකරණය වැඩි වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අභියෝගයට ලක් වීම සිදු වේ.
මෙකී සොයා ගැනීම් සහ ඒ මත පදනම් වූ නිර්දේශ ඉදිරිපත් කරන මෙම සමීක්ෂණ වාර්තාව ඊයේ පින්ලන්තයේ සිත්රා (Sitra) ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ප්‍රංශය, පින්ලන්තය සහ රුමේනියාව යන රටවල වයස 18-24ත් අතර යෞවනයින්ගේ නියැදියක සහභාගිත්වයෙන් සිදු කළ මේ සමීක්ෂණයේදී ඉන්ස්ටග්‍රාම්, ටික් ටොක් (යූ පේජ්) සහ එක්ස් හෙවත් ට්විටර් යන සමාජ මාධ්‍ය වේදිකාවල පෝස්ටු 1,337ක් විමසුමට භාජනය විය.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
