ජිනීවා සාම ගිවිසුම අද්දර: ඇමෙරිකාව සහ ඉරානය යුද්ධයෙන් පසුපසට?
1 min read
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඩ්‍රෝන ගැටුම මැද ආසන්න වූ එකඟතාව
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය ආතතිය නිමා කරන ඓතිහාසික සාම ගිවිසුම අද (14) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අත්සන් කිරීමට නියමිතය.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ දෙරටේ නායකයන් මේ සඳහා අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි.
කෙසේ වුව ද, පූර්ව ගිවිසුම් සටහනේ යම් වෙනස්කම් සිදුවිය හැකි බව, ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි පැවසීය. එමෙන්ම, මූලික ගිවිසුමේ අන්තර්ගතය කියාපාන්නේ සිය දේශය, මෙම ගැටුමෙන් වඩා ශක්තිමත්ව නැගී සිටින බව යැයි ද ඔහු පැවසීය.
එක්සත් ජනපදය සමග යුද්ධයේ ජයග්‍රාහකයා ඉරානය බව ඔහු පෙරේදා (12), එරට රාජ්‍ය රූපවාහිනියේ ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව, එක්සත් ජනපද හමුදා, හෝර්මුස් සමුද්‍ර සන්ධිය දෙසට පියාසර කරමින් තිබූ ‘මරාගෙන මැරෙන’ ඉරාන ඩ්‍රෝන යානා සමූහයක් වෙඩි තබා විනාශ කළහ. එම කලාපයේ වාණිජ සමුද්‍රීය කටයුතුවලට බාධා පිණිස සතුරු පාර්ශ්වය විසින් එම ඩ්‍රෝන යානා ඒවා තිබිණි. එම සාර්ථක ප්‍රහාරයෙන් පසුව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘතව ඇතැයි, එක්සත් ජනපද මධ්‍යම විධානය දන්වා සිටියේය.
දෙරට අතර එළැඹීමට නියමිත නව ගිවිසුම අනුව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි මුළුමනින්ම විවෘත කෙරෙන අතර, ඉරාන වරාය ක්‍රියාකාරකම් වලට එරෙහි එක්සත් ජනපද තහංචි ද ඉවත් කළ යුතු වේ. යුද්ධයට ප්‍රධාන මාතෘකාව වූ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව ඉන් අනතුරුව සාකච්ඡා ආරම්භ කෙරෙනු ඇත.
නව ගිවිසුම් කෙටුම්පත එක්සත් ජනපද ජනපතිගේ අභිලාශ ජයගැන්මකැයි නම් සඳහන් නොකෙරුණු, එක්සත් ජනපද රාජ්‍ය පරිපාලන නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කීය.
පාකිස්ථානය දෙරට අතර සාම කතාබහේ මැදහත්කරුවා ලෙස ක්‍රියා කරයි.
ගිවිසුමෙන් පසු ඕමානය හා එක්ව හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය මෙහෙයවන බව ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි සඳහන් කළේය. “හෝර්මුස් කලාපයට ඉහළින් සෑම විටෙකම අපේ කඩුව ලෙල දෙනු ඇති,” හෙතෙම කියා සිටියේය.
පකිස්ථාන විදේශ අමාත්‍ය, ඉෂාක් දර් සහ ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය, ඉග්නැසියෝ කැසිස්, එක්සත් ජනපද – ඉරාන ගිවිසුම සම්බන්ධ සාකච්ඡා හි ප්‍රවණතා පිලිබඳ සිය සතුට පළ කළහ. එය අත්සන් තැබීම කෙරෙහි ඉතා සමීපව කටයුතු කරන බවද ඔවුහු දන්වා සිටියහ.
ගිවිසුම අනුව, එක්සත් ජනපදය විසින් තහනම් කර ඇති, අමෙරිකානු ඩොලර් බිලියන ගණනක ඉරාන වත්කම් ක්‍රමක්‍රමයෙන් මුදා හැරීමට සහ ඉරාන තෙල් අපනයනය කෙරෙහි පනවා සම්බාධක ඉවත් කිරීමට නියමිත අතර ප්‍රතිචාර ලෙස ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය පූර්ණ ලෙස විවෘත කළ යුතු ය.
දින 60ක් තුළ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ සාකච්ඡා කර අවසන් කෙරෙනු ඇත. එහි තේමාව, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මුළුමනින් අක්‍රීය කර ඉවත් කිරීම බව එක්සත් ජනපද බලධාරෙහු කියා සිටියහ. එහෙත්, ඉරානය ඊට සූදානම් නැතැයි කී අරඛ්චි, සිය යුරේනියම් සංචිත තනුක ස්වභාවයෙන් පවත්වා ගන්නා බව කීය.
යුද්ධයෙන් ඉරානයට වන්දි පූර්ණය සහ ඉරාන මිසයිල නිෂ්පාදනය සීමා කිරීමට අදාළ කරුණු ද එම ගිවිසුමට අයත් වේ. ඉරානය එම කොන්දේසි ඉටු කරන තෙක් ඔවුන්ගේ තහනම් වත්කම් නිදහස් නොකෙරෙනු ඇතැයි එක්සත් ජනපද නිලධාරීහු පැවසූහ.
ඊශ්‍රායලය එම ගිවිසුමේ කොටස්කරුවකු නොවන බව එරට අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු කීය.
නව ගිවිසුමට අනුව, ලෙබනන ගැටුම ද අවසන් විය යුතු බව අරඛ්චි සඳහන් කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
