June 20, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ වරායට නව මූල්‍ය ආකෘතියක් අවශ්‍යයි – ලෝක බැංකුව පවසයි

1 min read

කොළඹ වරාය සම්බන්ධයෙන් නව මූල්‍ය ආකෘතියක් සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බව ලෝක බැංකු නියෝජිත පිරිසක් සඳහන් කරති.

එසේම මැදපෙරදිග අර්බුදයත් සමගින් ලෝකයේම අවධානය කොළඹ වරාය වෙත යොමුව තිබෙන බවත්, ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් එම නියෝජිත පිරිස මෙරට බලධාරීන් වෙත පෙන්වා දී තිබේ.

ලෝක බැංකු සමූහයේ දේශීය කළමනාකාර ගෙවෝගර් සාගර්සයාන් මහතා (Mr. Gevorg Sargsyan) ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් ඊයේ (18) වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව සඳහන් කළ බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොළඹ වරාය ECT පර්යන්තය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය ඉදිරි කාලය තුළදී වැදගත් ප්‍රතිපත්තිමය සහ ආයතනික තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එම තීරණ නිවැරදි මූල්‍ය ආකෘති, ශක්තිමත් රාජ්‍ය පෞද්ගලික අංශ සහභාගිත්වය සහ විනිවිද භාවයෙන් සිදු කරන බව ද අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිතයන් වෙත සහතික වී තිබේ.

ජනප්‍රිය පුවත්  හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවොත් ශ්‍රී ලංකාවට ලොකු අවධානමක්…!

ගෙවෝගර් මහතා ලෝක බැංකු සමූහයේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන විශේෂඥයෙකි. ආර්ථික සංවර්ධනය, ධාරිතා අවම කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපෘති කළමනා කරණය ආදී ක්ෂේත්‍රවල වසර ගණනාවක ජාත්‍යන්තර අත්දැකීම් ඔහු සතු බව සඳහන් වෙයි.

මෙහිදී අදහස් දක්වා ඇති ඒ මහතා, කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය ගැන ලෝක බැංකු සමූහය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බව ද පවසා තිබේ.

ඊට පිළිතුරු දී ඇති අමාත්‍යවරයා, මේ වන විට ලෝක බැංකු සමූහය විසින් ඉදිරිපත් කර ඇති අරමුදල් යෝජනාව සහ මූල්‍ය ආකෘති රජය විසින් තවදුරටත් සලකා බලමින් සිටින බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් බව අමාත්‍යාංශය පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x