September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇයි ජේවීපියට රට හදන්න බැහැ කියලා කියන්නේ?

1 min read

මට ගැටලුව පුද්ගලයන් සමඟ නොවේ. ගැටලුව ඔවුන්ගේ ආර්ථික දර්ශනය සහ දේශපාලන ප්‍රවේශය සමඟයි.

ජේවීපිය වසර ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාවට කියා සිටියේ ශ්‍රී ලංකාවේ අර්බුදයට ප්‍රධානතම හේතුව පුද්ගලයන් නොව “ක්‍රමය” බවයි. ඒ නිසාම “System Change” යන සටන් පාඨය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දේශපාලන අපේක්ෂාව බවට පත් වුනා.

පසුගිය මැතිවරණවලදී ඔවුන්ට ලැබුණු ජනවරමද බොහෝ දුරට එම බලාපොරොත්තුවේ ප්‍රතිඵලයක්.
නමුත් අද මම අහන්නේ ඉතාමත් සරල ප්‍රශ්නයක්.

ක්‍රමය වෙනස් වුණාද? නැත්නම් ක්‍රමය තුළ පාලකයන් පමණක් වෙනස් වුණාද?

අදත් IMF වැඩසටහන ක්‍රියාත්මකයි. අදත් වෙළඳපොළ ආර්ථිකය පිළිගන්නවා. අදත් පෞද්ගලික ප්‍රාග්ධනය මත සංවර්ධනය ගොඩනැගීමට උත්සාහ කරනවා. විදේශ ආයෝජන, වෙළඳපොළ ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය විනය පිළිබඳ මූලික ආර්ථික රාමුව වෙනස් වෙලා නැහැ.

එසේ නම්, අර කියපු විප්ලවීය ආර්ථික ආකෘතිය කොහේද?

මාර්ක්ස්වාදී දේශපාලනය කියන්නේ ධනේෂ්වර ක්‍රමය තුළ සාධාරණත්වය ගොඩනැඟිය නොහැකි බවයි. එහි මූලික තර්කය වන්නේ ප්‍රාග්ධනයම අසමානතාවය, සූරාකෑම සහ බලය සංකේන්ද්‍රණය කිරීම නිර්මාණය කරන බවයි.

නමුත් අද මෙයාලා ඉදිරිපත් කරන තර්කය වෙනස්.

ජනප්‍රිය පුවත්  නාකි මයිනා තාත්තා සහ මයිනාගේ දූ ශාරදා

“හොරකම නැති කළොත් මේ ක්‍රමය හොඳයි.”

මෙතන මට විශාල දාර්ශනික පරස්පරතාවයක් පේන්න තියෙනවා.

මොකද, හොරකම කියන්නේ පුද්ගලයන්ගේ සදාචාරාත්මක දුර්වලතාවයක් විතරක් නෙවෙයි. බලය සහ ධනය අසමාන ලෙස සංකේන්ද්‍රණය වන ආර්ථික ව්‍යුහයක නැවත නැවතත් මතුවන ප්‍රතිඵලයක්. ඒ නිසා දූෂණයට එරෙහි සටන වැදගත් වුනත්, ඒක පමණක් ක්‍රමයේ ගැටලුවට පිළිතුරක් නෙවෙයි.
ඒ නිසාම මම කියන්නේ “පුද්ගලයන් වෙනස් කිරීම” සහ “ක්‍රමය වෙනස් කිරීම” කියන්නේ එකක් නෙවෙයි දෙකක්.

තවත් කාරණයක් තියෙනවා.

බලයට එන්න කලින් ඉදිරිපත් කරපු සරල ජීවිතය, විකල්ප දේශපාලනය සහ පැරණි දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන බව කියමින් පෙන්නපු හිල් ජොක්කු….සරලත්වයේ ප්‍රතිරූපය….අද ගල් පිළිම, බොල් පිළිම බවට පත් වෙලා. ඒ නිසාම, බලය ලැබුණට පස්සේ උදේ හවා මුවහමට තඩිබාපු දේශපාලන සංස්කෘතියෙන් වෙන්වෙන එක මොන තරම් දුෂ්කරද කියලා ජෙප්පන්ට දැන් ප්‍රායෝගිකව පේන්න පටන් අරන්.

“පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. නවලිබරල්වාදයෙන් විප්පයෝගෝ මාරම මාර දුක්ඛෝ!”

මේක තමයි මින් ඉදිරියට ජව්පේ තේමා පාඨය විය යුත්තේ.

එතකොට විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම?

අධිකරණයේ ස්වාධීනත්වය?

ජනප්‍රිය පුවත්  විපක්ෂයේ අවුල

ඉතිහාසය පුරාම සිද්ධවුනෙත් මේකමයි.

ක්‍රමය වෙනස් කරන්න කියලා මිනිස්සු ආවට අන්‍තිමට වෙන්නේ ක්‍රමය මිනිසුන්ව වෙනස් කරනවා.

අද ජේවීපියද ක්‍රියා කරන්නේ තමන් වසර ගණනාවක් විවේචනය කළ නව ලිබරල්වාදී ආර්ථික රාමුව තුළම බව පැහැදිලියි.

අවසානයේ මට ඉතිරි වන්නේ එකම එක ප්‍රශ්නයක් විතරයි.

ධනේෂ්වර ක්‍රමය පෙරළිය යුතුය කියලා විශ්වාස කරමින්, රෝහණ විජේවීර අතට දීපු තුවක්කුව අරගෙන පාරට බැහැලා දහස් ගණන් තරුණයන් ජීවිත පූජා කළ ඉතිහාසයකින් පැමිණි ව්‍යාපාරයක්, අවසානයේ එම ආර්ථික රාමුවම පිළිගෙන එය කළමනාකරණය කරන තත්ත්වයටම පැමිණියේ නම්, එම ඉතිහාසයට දේශපාලනික වශයෙන් ලබාදෙන පිළිතුර කුමක්ද?

මේ ප්‍රශ්නය මට විතරක් නෙවෙයි.

“System Change” එකක් විශ්වාස කරලා නුඹලාට ජන්දය ලබාදුන් මිලියන සංඛ්‍යාත ජනතාවට ද පිළිතුරක් ලැබිය යුතු ප්‍රශ්නයක්.

  • විජය දිසානායක
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x