April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව ඩීසල් ලීටරයකින් රු. 100 ක, පෙට්‍රල් ලීටරයකින් රු. 20 ක පාඩුවක් ලබනවද?

1 min read

ආණ්ඩුව ඩීසල් ලීටරයකින් රු. 100 ක, පෙට්‍රල් ලීටරයකින් රු. 20 ක පාඩුවක් ලබනවද? මේ ඒ ගැන විශ්ලේෂණයක්;
(දීර්ඝ ලිපියක්, නමුත් ඔබ ගෙවන මිල ගැන දැනගන්න සම්පුර්ණයෙන්, හෙමින් කියවන්න).

පසුගිය මාර්තු 21 රාත්‍රීයේ අනුර දිසානායකගේ ආණ්ඩුව ඇමරිකා-ඉරාන යුද්ධය නිසා ඉහල යන තෙල් මිල හේතුවෙන් යැයි කියා 3 වැනි වරටත් මාර්තු මාසයේ ලංකාවේ තෙල් මිල වැඩි කරන ලදී.

මෙහිදී මෙම ක්‍රියාව සාධාරණීකරණය කරන්නට, ආණ්ඩුවත්, රාජ්‍ය මාධ්‍ය ඇතුළු ආණ්ඩුවට පක්ෂග්‍රාහී මාධ්‍යත්, ආණ්ඩුව විසින් නඩත්තු කරන සමාජ මාධ්‍ය බලකායත් කියනා ප්‍රධාන කරුණු 3ක් තිබේ.

1) ලෝක වෙළඳපොළේ ඉහල යන ප්‍රමාණයට සාපේක්ෂව ලංකාවේ මීට වඩා තෙල් මිල ඉහල දැමිය යුතු උනත් ආණ්ඩුව එසේ නොකර, සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 100 කුත්, පෙට්‍රල් ලීටරයකින් රු. 20 කුත් බැගින් පාඩුවක් දරාගෙන තෙල් අලෙවි කරන බවයි. (කමෙන්ටුවේ අමුණා ඇති නලින්ද ජයතිස්ස ගේ ප්‍රකාශය බලන්න).

2) අනෙකුත් රටවල් තෙල් මිල වැඩි කළ ප්‍රමාණයට සාපේක්‍ෂව ලංකාව මිල වැඩි කලේ ඉතා සුළු අගයකින් බව.

3) යුද්ධය නිසා අනෙකුත් රටවල් වලද අප රටේ මෙන් ඉන්ධන සහ බලශක්ති අර්බුදයක් ඇති බව.

මේ 2 සහ 3 වන කාරණා ගැන ඊළඟ ලිපියෙන් ලියන්නට තියා 1 වැනි කාරණාව ගැන සොයා බලමු.

ප්‍රථමයෙන්ම, ලෝකය පිළිගන්නා සරල ආර්ථික කාරණාවක් පෙන්වා දිය යුතුය.
එනම් “යමෙක වෙළඳපොළේ මිල තීරණය වන්නේ, ඉල්ලුම සහ සැපයුම අතර ඇති සරල සම්බන්ධයකිනි. ඉල්ලුම ඉක්මවා සැපයීමක් ඇති විටක එම භාණ්ඩයේ මිල පහළ වැටෙන අතර සැපයුමට වඩා වැඩි ඉල්ලුමක් ඇති විට පවතින සීමිත භාණ්ඩ වල මිල ඉහල යමක් සිදු වේ”. මෙය කියවන විට එය වැදගත් වන නිසා ඒ කාරණාව සිතේ තබාගෙන කියවන්න.
ආණ්ඩුව කියන්නේ මේ ඇමරිකා-ඉරාන ගැටුම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල වෙන කවරදාටත් වඩා ඉතා විශාල ලෙස වැඩිවී ඇත යන්නයි. නමුත් සත්‍ය නම් වැඩිවීමක් තිබුනත් මේ මිල වෙනස් වීම 2008-2013 කාලයේ හා 2021/22 කෝවිඩ් අවසාන භාගයේ රුසියානු/යුක්‍රෙන යුද්ධය ආරම්භයේදී තිබු ඉහල මිල අගයන් අසලටවත් පැමිණ නැති බවයි.
යුද්ධය ආරම්භ වූ පසු පසුගිය සති කීපයේ ලෝක තෙල් මිලේ වෙනස් වීම සලකා බලමු.
ජාත්‍යන්තර නිල දත්ත අනුව,
පෙබරවාරි මාසය තුල (පෙබරිවාරි 1-28) බ්‍රෙන්ට් බැරලයක සාමාන්‍ය = $70.89 විය.
මාර්තු 1-9 දක්වා (පෙබරිවාරි මිලටම, එනම් $70.89 ටම මිලදී ගත් තෙල් තිබියදී මාර්තු 9 නැවත මිල වැඩි කරන විට) බ්‍රෙන්ට් බැරලයක සාමාන්‍ය = $84.87 ක් විය.
සමස්තයක් ලෙස යුද්ධය ආරම්භයේ සිට එනම් මාර්තු 1-21 (අවසාන මිල වැඩි කිරීම දක්වා) සම්පූර්ණ දවස් 21කේ බ්‍රෙන්ට් බැරලයක සාමාන්‍ය = $94.65 (මෙහි වෙනස් වූ ආකාරය කමෙන්ටුවක ප්‍රස්ථාරගත කර ඇත).
එනම් තෙල් බැරලයක මිල පෙබරවාරි වලට වඩා ඩොලර් 23.76 කින් ($94.65-$70.89 = $23.76) ඉහල ගොස් ඇත. අනුර දිසනයක පාර්ලිමේන්තුවේ කියූ ඔහුගේ සරල සුත්‍රය අනුව, එනම් ඩොලර් 1ක් ඉහල යනවිට රු. 2කින් තෙල් වර්ග වල මිල ඉහල යාමට අනුව පෙබරවාරි අවසානයේ තිබු මිලට සාපේක්‍ෂව සෑම තෙල් වර්ගයකම මිල ආසන්න වශයෙන් රු. 48 කින් පමණක් ඉහල යා යුතුය.
එසේ නම් Petrol 92 Octane Rs. 292 සිට 340 දක්වාත්, Petrol 95 Octane Rs. 340 සිට 388 දක්වාත්, Auto Diesel Rs. 277 සිට 325 දක්වාත් Super Diesel Rs. 323 සිට 371 දක්වාත් භූමිතෙල් Rs. 182.00 සිට 230 දක්වාත් පමණක් වැඩිකළ යුතුව තිබිණි.
නමුත් වැඩි කරේ පහත පරිදිය.
Petrol 92 Octane Rs. 398 (වෙනස, +48 වෙනුවට +106 කින් වැඩි කර ඇත).
Petrol 95 Octane Rs. 455 (වෙනස, +48 වෙනුවට +115 කින් වැඩි කර ඇත).
Auto Diesel Rs. 382 (වෙනස, +48 වෙනුවට +105 කින් වැඩි කර ඇත).
Super Diesel Rs. 443 (වෙනස, +48 වෙනුවට +120 කින් වැඩි කර ඇත).
භූමිතෙල් Rs. 255 (වෙනස, +48 වෙනුවට +73 කින් වැඩි කර ඇත).
එසේ වැඩිකරනවාට අමතරව ඩීසල් ලීටරයකින් රු. 100 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රු. 20 පාඩු පිට විකුණන බවත් ඒ වෙනුවෙන් රජය මසකට රු. බිලියන 20 ක් වියදම් කරන බවත් කියයි.
මෙය ඉතාම ප්‍රශ්නකාරී සහ ඇස් උඩ යන කතාවකි. ඒ ඇයි කියා බලමු.
පළමුව ඉහත පෙන්වාදුන් ලෝක වෙළඳපොළේ නිල අගයන් බලශක්ති අමාත්‍යාංශය විසින් භාවිතා කරන මිල ව්‍යුහය (Pricing structure), නැතහොත් මිල සුත්‍රය ලෙස ප්‍රසිද්ධ සමීකරණයට (MRP = V1 + V2 + V3 + V4 + V5 + V6 + V7) ඇතුළු කර ලංකා ආණ්ඩුව එම අගයන් ඔස්සේ (බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මාර්තු 1-21 දක්වා තිබුන සාමාන්‍ය මිල වූ $94.65 අගය) මාර්තු 21 මිල වැඩි කිරීමට පෙර සහ මිල වැඩි කිරීමෙන් පසු කියනා ලෙස පාඩුවක් ලබනවාද නැතහොත් වාසියක් ලබනවද යැයි බලමු.
මෙහි: V1 = ගොඩබෑමේ පිරිවැය (Landed cost per liter),
V2 = සැකසුම් පිරිවැය (Processing cost per liter),
V3 = තොග පවත්වාගැනීමේ පිරිවැය (Stockholding cost per liter),
V4 = බදු (Taxes per liter),
V5 = අනෙකුත්/වෙනත් පිරිවැය (Other costs per liter),
V6 = ලාභ ආන්තිකය (Profit margin per liter), V7 = පිරිපහදු පිරිවැය ඉතිරිකිරීම් (Refinery cost savings per liter) ලෙස වේ.
V1 (ගොඩබෑමේ පිරිවැය ආසන්න අගය ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් මිල (Brent) ඩොලර් වලින්→ රුපියල්/ලීටරයකට පරිවර්තනය කිරීම මගින් ලබා ගනී.
තවද,
V2 (සැකසුම් පිරිවැය): V1 න් 6.6% කි.
V3 (පරිපාලන පිරිවැය): V1 න් 4% කි.
එබැවින්;
බදු වලට පෙර ඇස්තමේන්තුගත පිරිවැය (Estimated cost before tax/residual) = (V1 + V2 + V3) වේ.
රජයේ ඇස්තමේන්තුගත ලාභ ආන්තිකය (Estimated govt margin) = විකුණන සිල්ලර මිල – (V1 + V2 + V3).
එනම්,
Brent avg crude = $94.65/bbl (Mar 1–21 calendar-day avg) ලෙසද,
FX = 309.2937LKR/US$ ලෙසද,
සෑම බැරලයකටම Premium ලෙස $3/bbl ක්ද, ඉහත කිවූ පරිදි,
V2 = 6.6% of V1, V3 = 4% of V1 සලකා,
Cost before tax/residual (V1+V2+V3) = 210.22 LKR/L ලෙස ගණනය කර අගය ලැබේ.
ඒ අනුව, ආණ්ඩුව විකුණන සිල්ලර මිල (මාර්තු 21 මිල වැඩි කිරීමට පෙර සහ පසු ලෙස), ඒ, ඒ ඉන්ධන වර්ගයෙන් ලබන ලාභය හෝ පාඩුව ගණනය කර පහත දක්වා ඇත.
Octane 92 පෙට්‍රල්-
මාර්තු 21 ට පෙර මිල රු. 317 සහ එයින් රජයට ලැබූන ලාභය/බදු = රු. 106.78 (මුළු මිලෙන් 33.7% කි).
මාර්තු 21 මිල වැඩිකළ පසු (රු. 398), රජයට ලැබෙන ලාභය/බදු = රු. 187.78 (මිලෙන් 47.2% කි).
එහි වෙනස වෙනස: +රු. 81 කි, එනම් ලාභය වැඩි වී ඇත.
Octane 95 පෙට්‍රල්-
මාර්තු 21 ට පෙර මිල රු. සහ එයින් රජයට ලැබූන ලාභය/බදු = රු. 154.78 (මුළු මිලෙන් 42.4% කි).
මාර්තු 21 මිල වැඩිකළ පසු (රු. 455), රජයට ලැබෙන ලාභය/බදු = රු. 244.78 (මිලෙන් 53.8% කි).
එහි වෙනස වෙනස: +රු. 90 කි, එනම් ලාභය වැඩි වී ඇත.
Auto ඩීසල්
පෙර (මාර්තු 10 මිල = රු. 303): රජයට ලැබෙන පංගුව = රු. 92.78 (මිලෙන් 30.6% කි).
පසුව (මාර්තු 21 මිල = රු. 382): රජයට ලැබෙන පංගුව = රු. 171.78 (මිලෙන් 45.0% කි).
වෙනස: +රු. 79 කි, ප්‍රතිශත ඒකක +14.4 ක වැඩිවීමකි.
Lanka Super ඩීසල්
පෙර (මාර්තු 10 මිල = රු. 353): රජයට ලැබෙන පංගුව = රු. 142.78 (මිලෙන් 40.5% කි).
පසුව (මාර්තු 21 මිල = රු. 443): රජයට ලැබෙන පංගුව = රු. 232.78 (මිලෙන් 52.6% කි).
වෙනස: +රු. 90 කි, ප්‍රතිශත ඒකක +12.1 ක වැඩිවීමකි.
භූමිතෙල් (Kerosene)
පෙර (මාර්තු 10 මිල = රු. 195): රජයට සිදුවන පාඩුව = –රු. 15.22 (–7.8% කි).
(එනම්, මෙම ආකෘතියට අනුව මිල පිරිවැයට වඩා අඩු මට්ටමක පවතී → මෙය සහනාධාරයක් හෝ පිරිවැය පියවා ගැනීමට නොහැකි වූ අගයක් නියෝජනය කරයි).
පසුව (මාර්තු 21 මිල = රු. 255): රජයට ලැබෙන ලාභය = රු. 44.78 (මිලෙන් 17.6% කි).
වෙනස: +රු. 60 කි, ප්‍රතිශත ඒකක +25.4 ක වැඩිවීමකි.
එනම්,
මෙම පවතින නිල වෙළඳපොල අගයන්ට අනුව ලංකා රජය තෙල් මිලට ගත්තේනම්, මාර්තු 21 මිල වැඩි කිරීමෙන් පසු පෙරටත් වඩා සියලු ඉන්ධන වර්ග වලින් ( ලීටරයකින්: Octane 92 පෙට්‍රල් වලින් රු. 187.78 , Octane 95 පෙට්‍රල් වලින් රු. 244.78 , Auto ඩීසල් රු. 171.78 , Lanka Super ඩීසල් රු. 232.78, සහ භූමිතෙල් වලින් රු. 44.78 ක් බැගින් ලාභයක් උපයා ගනිමින් සිටි.).
එසේ නම් ඩීසල් වලින් රු. 100 කුත්, පෙට්‍රල් වලින් රු. 20 කුත් පාඩු වන්නේ කෙසේද?
මොහොතකට සිතමු එසේ පාඩු වෙනවා කියා.
එසේනම් එය විය යුත්තේ ලෝක වෙළඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලකට ආණ්ඩුව තෙල් මිලදී ගෙන ඇති අතර ඒ නිසා ඉහතදී කියූ V1 (ගොඩබෑමේ පිරිවැය/ landing cost) ඉහල යන නිසාය.
එසේ නම් මිල සුත්‍රය අනුව ආණ්ඩුව මිලදී ගත් අගය ගණනය කර ගත හැක. ඒ මෙසේය.
ආණ්ඩුවේ පංගුව (බදු+ ලාභය) = සිල්ලර මිල – (V1+V2+V3) = -100
එනම්,
(V1+V2+V3)= සිල්ලර මිල+100
පෙර කියූ පරිදි, V2=6.6% of V1, සහ V3= 4% of V1,
එනම්,
V1+V2+V3 = V1(1+0.066+0.04)=1.106V1
V1 = (සිල්ලර මිල+100)/1.106
ඉන්පසු, V1 (LKR/L) රුපියල් වලින්, USD/bbl අගයට හැරවීම කල යුතුය.
මෙහිදී විණිමය අනුපාතය 1 USD= 309.2937 LKR ලෙසත්, බැරලයක් සඳහා premium අගය $3 ලෙසත්, බැරලයක පරිමාව ලීටර් 158.9 ලෙසත් සලකා ඇත.
ඒ අනුව,
(Benchmark+premium)= (V1×158.9)/FX
ඒ අනුව රු.100 පාඩු කතාව Auto ඩීසල් වලට අනුව ගණනය කර උදාහරණයක් ලෙස දක්වමු. (Diesel මිල Mar 21 මිල වෙනස් කිරීමෙන් පසු = Rs. 382/L) යන අගය සලකා,
Required total cost before tax/residual = 382+100= 482 LKR/L
Implied landed cost V1=482/1.106=435.80LKR/L
Converting to USD/bbl equivalent: Benchmark + premium =435.80×158.9/309.2937=223.90USD/bbl
Benchmark (minus $3 premium) =223.90-3=220.90USD/bbl
මෙයින් අදහස් කරන්නේ රු. 382 ක සිල්ලර මිලක් යටතේ සැබවින්ම “ලීටරයකින් රු. 100 ක පාඩුවක්” ලැබීමට නම් ඔවුන් පදනම් කරගන්නා බොරතෙල් මිල බැරලයකට ඩොලර් 221 ක් පමණ විය යුතුය. එය සාමාන්‍ය වෙළඳපොළ පවතින යථාර්ථයට වඩා අතිශය ඉහළ, අදහාගත නොහැකි මිලකි.
මේ ආකාරයෙන් අනෙකුත් තෙල් වර්ග වලටද මේ කියනා “ඩීසල් වලින් රු. 100 ක් පාඩුයි”, “පෙට්‍රල් වලින් රු. 20 ක් පාඩුයි” කතාව යෙදු විට, සාරාංශය නම්,
Auto ඩීසල් වලින් රු100 ක පාඩුවක් ලැබීමට බැරලයක් ඇ.ඩො. $221 කට ආණ්ඩුව මිලට ගත යුතුය. මෙය ඇ.ඩො. $ 94.65 ලෝක වෙළඳපොළේ සාමාන්‍ය මිල අගයට වඩා ~133% ක ඉහළ අගයකි.
Super ඩීසල් වලින් රු100 ක පාඩුවක් ලැබීමට බැරලයක් ඇ.ඩො. $249.23 කට ආණ්ඩුව මිලට ගත යුතුය. මෙය ඇ.ඩො. $ 94.65 ලෝක වෙළඳපොළේ සාමාන්‍ය මිල අගයට වඩා ~163% ක ඉහළ අගයකි.
Octane 92 පෙට්‍රල් වලින් රු 20 ක පාඩුවක් ලැබීමට බැරලයක් ඇ.ඩො. $191.17 කට ආණ්ඩුව මිලට ගත යුතුය. මෙය ඇ.ඩො. $ 94.65 ලෝක වෙළඳපොළේ සාමාන්‍ය මිල අගයට වඩා ~102% ක ඉහළ අගයකි.
Octane 95 පෙට්‍රල් වලින් රු 20 ක පාඩුවක් ලැබීමට බැරලයක් ඇ.ඩො. $217.64 කට ආණ්ඩුව මිලට ගත යුතුය. මෙය ඇ.ඩො. $ 94.65 ලෝක වෙළඳපොළේ සාමාන්‍ය මිල අගයට වඩා ~130% ක ඉහළ අගයකි.
එනම්, රජය ප්‍රකාශ කරන පාඩුව, “සිල්ලර මිල සූත්‍රයට අනුව පිරිවැයට වඩා අඩුය” යන්න වචනාර්ථයෙන්ම පිළිගන්නේ නම්, එම මිල ගණන් ගැලපීම සඳහා ඔවුන් පදනම් කරගන්නා මිලදී ගැනීමේ අගය (benchmark price) අපගේ විශ්ලේෂණයේදී භාවිතා කළ වෙළඳපොළ පවතින මිලට වඩා දළ වශයෙන් 2 සිට 2.6 ගුණයක් පමණ වැඩි විය යුතුය.
අර මුලින්ම කියූ “වෙළඳපොළේ ඉල්ලුමට සැපයුම අනුව පවතින මිල තීරණය “වේ කියන කතාව අදාළ වන්නේ මේ නිසාය.ආණ්ඩුව කියන පාඩුව ඇත්ත නම් ඔවුන් ලෝක වෙලඳපොලෙන් තෙල් මිලට ගන්නේ $ 192-250 වැනි මිලකටය. මීට බොහෝ සේ අඩුවට ඩොලර් 105-115 මට්ටමේ ලෝක වෙළඳපොළේ සැපයුමක් පවතිද්දීත් මේසා අදහාගත නොහැකි මිලකට ලංකාව තෙල් මිලදී ගන්නේ ඇයි?
ජනතාව වශයෙන් අප දැනගත යුත්තේ එයයි. ඇයි අපි $105-115 ට ගත හැකි දෙයක් $ 190-250 ක් වැය කර ගන්නේ? නොහැකියාවද? වෙනත් සැඟවුණු කතාවක්ද? ජනතාවට දෙගුණයක් ගෙවා තෙල් මිලදී ගැනීමට අමතරව මේ නිසා සියලු භාණ්ඩ සහ සේවා මිල ඉහල ගොස් ජනයා කබළෙන් ලිපට වැටී ඇත. ඊටත් අමතරව රටේ ඩොලර් අනිසි ලෙස විනාශ වේ.
මේ ආකාරයෙන් ගනුදෙනු කරන්නේ පිටකොටුවේ මුදලාලිලා බව කලකට පෙර කවුදෝ කිව්වා මතකය.
මෙය පිටකොටුවේ මාකට් එක නොව ලංකාව නමැති රාජ්‍යයයි.
ඒ නිසා ආණ්ඩුව මේවාට උත්තර දිය යුතුමය. කලයුතු වන්නේ ඔවුන්ගේ ගණන් හිලව් වහා හෙලි කිරීමයි. මිල සකස් වන්නේ කෙසේද? කියනා ලෙස පාඩු වන්නේ කෙසේද? තෙල් මිලට ගෙන ඇත්තේ කීයටද යන ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ එවිටය. එසේ නොමැතිනම් මේවා අනාගත වෙනත් රජයකින් වෝහාරික විඝනණයක් සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

ජනප්‍රිය පුවත්  නිර්ප‍්‍රභූවාදීන් සැමරිය යුතුම ජයග‍්‍රහණයක්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x