වෙළඳ හිඟය දරුණු වෙයි…! | අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයනයට…! | ආර්ථිකය අවදානමකට..
1 min read
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
විශේෂයෙන්ම 2025 වර්ෂයට සාපේක්ෂව 2026 වර්ෂය තුළ වෙළඳ හිඟය ක්‍රමයෙන් වර්ධනය වන බව ඔහු පෙන්වා දෙයි.
මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි, 2026 වර්ෂයේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාව භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 8.23 ක මුදලක් වැය කර ඇත. එහෙත් එම කාලසීමාව තුළ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇත්තේ ඩොලර් බිලියන 4.53 කට ආසන්න ප්‍රමාණයකි.
මේ අනුව, අපනයන මගින් උපයන ආදායම මෙන් දෙගුණයකට වඩා වැඩි මුදලක් ආනයනය සඳහා වැය කිරීමට සිදුව ඇති බවත්, මෙය රටේ ආර්ථිකයට හිතකර තත්ත්වයක් නොවන බවත් ඔහු අවධාරණය කරයි.
රටේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් වන රෙදිපිළි හා ඇඟලුම් අපනයනය තුළද සැලකිය යුතු පසුබෑමක් දක්නට ලැබෙන බව මහාචාර්යවරයා සඳහන් කරයි. 2025 වර්ෂයේ මුල් මාස හතර තුළ ඇඟලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 1,752 ක් උපයා තිබුණද, 2026 වර්ෂයේ එම කාලය තුළ උපයා ඇත්තේ ඩොලර් මිලියන 1,625 ක් පමණි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හතර තුළ ඇඟලුම් ආදායම ඩොලර් මිලියන 127 කින් පමණ පහත වැටී ඇත.
මෙම වෙළඳ හිඟය තවදුරටත් වර්ධනය වීම ආර්ථිකයට සුභවාදී නොවන බව පවසන මහාචාර්ය අතුකෝරළ මහතා, පවතින වෙළඳ ශේෂයේ හිඟය අවම මට්ටමකට ගෙන ඒම සඳහා කඩිනම් පියවර ගත යුතු බව වැඩිදුරටත් සඳහන් කරයි
