මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ඝාතනයක් ?
1 min read
මුදල් අමාත්‍යාංශය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් අස්ථානගත වූ සිදුවීමට අදාළව වැඩ තහනමකට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස පෙන්වීමට උත්සාහ කළ ද එය මිනීමැරුමක් බව පරීක්ෂණ අංශවල මතය වී තිබේ.
රාජපක්ෂ මහතා මරණයට ලක්කර වැටී සිටියේ ඔහු ජීවත් වන නිවස පසුපස වූ ගෙවත්තේදීය. ඔහුගේ දියණිය ඒ බව දැකීමෙන් පසුව තම මවට ඇය විසින් ඒ බව දන්වා තිබේ. පසුව ගුරුවරියක වන මව විසින් කුලියාපිටිය පොලිසිය දැනුවත් කර තිබේ. ඒ අනුව, පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ගෙවත්තේ කෙහෙල් පඳුරක් අසල විශාල ලේ පැල්ලමක් තිබෙන බව නිරීක්ෂණය කර ඇත. ඒ අසල වැටී සිටි රාජපක්‍ෂ මහතාගේ පාදයක සහ අතක කැපුම් තුවාල 3 ක් දක්නට තිබී ඇත. එම ස්ථානයේ කුඩා ප්‍රමාණයේ පිහියක්ද වැටී තිබී ඇත.
කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය අද (30) පස්වරුවේ එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ සිදු වූ මෙම ඩොලර් වංචාව ගැන ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවස්ථා 3 කදී රාජපක්‍ෂ මහතාව රහස් පොලිස් මූලස්ථානය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගෙන තිබේ. ලබන 2 වැනිදා ද ඔහු වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමට නැවත රහස් පොලීසියට යාමට නියමිතව තිබිණි.
අපගේ අභ්‍යන්තර මූලික විමර්ශනයට අනුව, රංග රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ සිටම ජ.වි.පෙ. ක්‍රියාකාරී සාමාජිකයකුව කටයුතු කර ඇත. ජ.වි.පෙ. බලයට පැමිණීමෙන් පසුව ඒ මහතා ඇතුළු ජ.වි.පෙ. හිතවාදීන් පිරිසක් මුදල් අමාත්‍යාංශයේ තනතුරු සඳහා ඇතුළත් කර තිබේ.
ප්‍රශ්නගත ඩොලර් වංචාව පිළිබඳ වගකීම බාරගන්නා ලෙස රාජපක්ෂ මහතාට ඉහළ පරිපාලනයෙන් ප්‍රබල බලපෑමක් එල්ල වී තිබේ. එහෙත් තමන් ඊට වගකිවයුතු නැතැයි දැඩිව විශ්වාස කළ ඔහු එම වංචාවේ වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
අදාළ මරණය සිදුව ඇත්තේ ඉන් අනතුරුවය. මෙම නිලධාරියා අදාළ ඩොලර් හොරකමේ වගකීම බාර නොගන්නේනම්, ඊළඟට කළ යුත්තේ ඔහු නිහඬ කරවීමය. මෙම ඝාතනය ඒඅරමුණින් සිදු කළා විය හැකි බව විමර්ශකයන්ගේ මතය වී තිබේ. තම පාදයේ බල නහරය තමන් විසින්ම කපාගෙන, සිරුරේ තවත් තැන් තමන් විසින්ම කපා ගනිමින් සියදිවි හානිකරගැනීම සිදුවිය හැක්කක් නොවේ. ඒ අනුව පරීක්ෂණයේ සත්‍ය අනාවරණය වීම වැළැක්වීම පිණිස මෙම මරණය සිදු කරන ලද්දේය යන සැකය බරපතල ලෙස මතුව තිබේ .
- විශේෂ වාර්තාකරුවකු විසිනි –
