ඉතිහාසයේ වැඩිම වෙළඳ පරතරයට ලංකාව ගොදුරු වේ !
1 min read
වත්මන් ආණ්ඩුව බලයට එන විට, මෙරට වෙළඳ පරතරය ඇමරිකන් ඩොලර් මිලියන 822.7 ක් ලෙස සටහන් වූ අතර, 2025 වසරේ දී වාහන ආනයන සීමා ලිහිල් කිරීම වැනි හේතු මත, එම වසර නිමාව වන විට ශ්‍රී ලංකාවේ සමුචචිත වෙළඳ පරතරය ඩොලර් බිලියන 7.9 ක් දක්වා ඉහළ ගියේය. 2025 දෙසැම්බර් මාසයේ පමණක් වෙළඳ පරතරය ඇ.ඩො. මිලියන් 997.2 ක් විය.
මෙම ප්‍රවණතාවය දරුණු ලෙස ඉහළ යමින් 2026 අප්‍රේල් වන විට ලංකා ඉතිහාසයේ ඉහළම මාසික වෙළඳ පරතරය වන ඩොලර් බිලියන 1.38 (ඩොලර් මිලියන 1380) දක්වා වෙළද පරතරය පුළුල් වී තිබේ. මින් පෙර මෙරට වෙළඳ ඉතිහාසයේ කිසිදු මාසයක මේ ප්‍රමාණයේ වෙළද පරතරයක් ඇති වී නොමැත. මෙම ඉහළම අගයක වෙළඳ පරතරයට හිමිකම් කියන පසුගිය අප්‍රේල් මාසයේ පමණක් මෝටර් රථ ආනයනය සඳහා ඩොලර් මිලියන 208 ක් වැයකර තිබුණි.
2021 දෙසැම්බර් මාසයේ දී, කොවිඩ් වසංගතයෙන් පසු, ඛනිජ තෙල් මිල ඉහළ යාම වැනි හේතු මත ආනයන සීමා පැවතිය ද වෙළඳ පරතරය එතෙක් ඉතිහාසයේ ඉහළම අගය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 1,085 ක් බවට පත් විය. 2026 අප්‍රේල් වාර්තා වී ඇති ඩොලර් මිලියන 1,380 වෙළෙඳ පරතරය එම සියලු අවස්ථාවන්ට වඩා වැඩි මෙතෙක් වාර්තා වූ වැඩිම වෙළඳ පරතරය බවට පත්ව ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ මෙම ඉහළම වෙළඳ පරතරය වාර්තාවන්නේ, එම මාසය තුළ ඩොලර් මිලියන 1,380 ක අපනයන ආදායමක් ද ලබා තිබියදී ය. වෙළඳ පරතරය ඉහළයාම විසින් විදේශ විනිමය අර්බුදයකට ද රට ආර්ථික වශයෙන් මුහුණපෑමේ අවදානම මතුව ඇතැයි මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
- දීප්ති මුණවීර –
