March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රීබිල්ඩින් ශ්‍රී ලංකා හොල්මන් අරමුදලේ කතාව!

1 min read

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීමට යැයි පවසමින් රජය පිහිටවූ ‘Rebuilding Sri Lanka’ අරමුදල සැබවින්ම පවතින්නක් ද? නැතහොත් එය හුදු ප්‍රචාරක ව්‍යාපෘතියක් ද? බීබීසී සිංහල සේවය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) යටතේ කළ විමසීමකට ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශය ලබා දුන් පිළිතුරු මගින් අප සියලු දෙනාගේ දෑස් විවර කරවන තොරතුරු හෙලි වී තිබේ.

බීබීසී RTI හෙළිදරව්ව: අරමුදලේ නිරුවත හෙළි කරන කරුණු 8


2026 ජනවාරි 23 දින බීබීසී සිංහල සේවයේ සේවය කරන මාධ්‍යවේදිනී අමන්දිකා කුරේ යොමු කළ RTI ඉල්ලීමට පෙබරවාරි 24 දින ලැබුණු පිළිතුරු මගින් පහත කරුණු අනාවරණය වේ:

වගකීම මඟහැරීම: මුදල් අමාත්‍යාංශය පවසන්නේ Rebuilding Sri Lanka ඔවුන් යටතේ නොමැති බවත්, එය ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් බවත් ය.


  • අරමුදලක් තවමත් නැත: අරමුදල පිහිටුවා ඇත්දැයි විමසූ විට ජනාධිපති කාර්යාලය පවසා ඇත්තේ එය පිහිටුවීමට “අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින” බවයි. එනම් මාස තුනක් ගතවීත් නීත්‍යානුකූලව අරමුදලක් පිහිටුවා නැත.

  • නීතිමය පදනමක් නැත: පවතින ‘ව්‍යසන කළමනාකරණ පනත’ මඟහැර නව අරමුදලක් සඳහා පනත් කෙටුම්පතක් සකසමින් පවතින බව රජය පිළිගෙන ඇත. නීතියක් නැතිව මහජන මුදල් එකතු කිරීම මෙහිදී බරපතළ ප්‍රශ්නයකි.
    විගණනයක් නැති ගිණුම්: අරමුදල ස්ථාපනය කර නැති බැවින් එහි විගණන ක්‍රියාවලියක් පිළිබඳව රජයට නිශ්චිත පිළිතුරක් නැත.

  • මුදල් දත්ත පිළිබඳ අවිනිශ්චිතතාව: වෙබ් අඩවියේ බිලියන ගණනක මුදල් පෙන්වුව ද, RTI පිළිතුරේ ඒ පිළිබඳ නිවැරදි දත්ත ලබා දී නොමැත.

  • පාලනය පිළිබඳ අභිරහස: අරමුදලේ සේවකයන් හෝ වියදම් අනුමත කරන ආකාරය ගැන විමසූ විට ලැබී ඇත්තේ “ස්ථාපනය කරමින් පවතිනවා” යන සම්මත පිළිතුර පමණි.

  • කමිටුව හා මණ්ඩලය පටලවා ගැනීම: ජනාධිපති මාධ්‍ය අංශය “කළමනාකරණ කමිටුවක්” ගැන කීව ද, RTI පිළිතුර පවසන්නේ “පාලක මණ්ඩලයක්” පත් කර ඇති බවයි.

  • සීමිත බලතල: මුලින් මුදල් වෙන් කිරීමේ බලය ඇති බව කීව ද, දැන් පවසන්නේ ඔවුන්ගේ කාර්යය “උපාය මාර්ගික මග පෙන්වීම” සහ “ප්‍රජා සම්බන්ධතා” වලට පමණක් සීමා වන බවයි.

එම කරුණු පිළිබද බීබීසී මෙසේ සිය ලිපියේ සදහන් කර ඇත.

අප විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීමට පළමු ප්‍රතිචාරය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ලැබුණු අතර, 2026 ජනවාරි 30 වන දින ලැබුණු එම පිළිතුරේ සඳහන්ව තිබුණේ, Rebuilding Sri Lanka සම්බන්ධයෙන් අප විමසා තිබූ තොරතුරු ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් බවට නිරීක්ෂණය වන බව ය.

එම නිසා එම තොරතුරු ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමට ද උක්ත අමාත්‍යංශය කටයුතු කර තිබිණි.

එම පිළිතුර අනුව පෙනී යන මූලික ම කරුණ වන්නේ, Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ නොමැති බව ය.

  1. Rebuilding Sri Lanka අරමුදල පවතින්නේ කුමන ආයතනය යටතේ ද?

‘Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් ඔබ ආයතනය යටතේ පවතින්නේ ද?’ යනු අප විසින් ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලද පළමු ප්‍රශ්නය යි.

මුලින් සඳහන් කළ පරිදි මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, එය ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් වන බැවින්, එම අමාත්‍යංශය යටතේ එවැනි අරමුදලක් නොමැති බව පවතින තොරතුරු අනුව පෙනී යයි.

2026 පෙබරවාරි 24 වන දින ජනාධිපති කාර්යාලය විසින් අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලද තොරතුරු අනුව ඉහත ප්‍රශ්නයට ඔවුන් ලබා දී තිබෙන්නේ, “Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින,” බව ය.

එසේ නම් මේ වන විට එම කාර්යාලය යටතේ ද තවමත් එවැනි අරමුදලක් පිහිටුවා නොමැති බව පෙනී යයි.

  1. අරමුදල පිහිටුවා ඇති නීතිමය ප්‍රතිපාදන මොනවා ද?

ජනාධිපති මාධ්‍ය අංශය විසින් දෙසැම්බර් 01 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මෙම අරමුදල සම්බන්ධයෙන් සඳහන් වූ අතර, පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑ ම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑ ම මුදල් ඒකකයකින් පරිත්‍යාග කිරීම සඳහා බැංකු ගිණුම් විස්තර ද එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

විපක්ෂය එල්ල කළ ප්‍රබල චෝදනාවක් වූයේ, මෙම අරමුදල පිහිටුවීමට අදාළ නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්, අවශ්‍ය නම් 2005 වසරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ මෙවැනි අවස්ථාවලදී අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම සහ අවශ්‍ය කටයුතු සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් අරමුදලක් පවතින බවත් ය.

ජනප්‍රිය පුවත්  වෘත්තීය සමිති නායකයෝ තට්ටු ගානක ගෙවල් හදනවා! කාමර AC!

‘Rebuilding Sri Lanka’ අරමුදල පිහිටුවා ඇති නීතිමය පසුබිම කුමක් ද? යන්න අපගේ තොරතුරු ඉල්ලීමේ දෙවන ප්‍රශ්නය විය.

“Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කෙරෙමින් පවතින බව” ජනාධිපති කාර්යාලයේ පිළිතුර විය.

කෙසේ වෙතත්, www.rebuildingsrilanka.gov.lk යන රජයේ අරමුදල් රැස් කිරීම සඳහා හඳුන්වා දී ඇති වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට රජය Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා තිබේ. කෙසේ වෙතත් මෙම තොරතුරු ඉල්ලීම අනුව පෙනී යන්නේ, තවමත් එවැන්නක් පිහිටුවා නොමැති අතර, ඒ සඳහා තවමත් අවශ්‍ය කටයුතු සිදු කෙරමින් පමණක් පවතින බව ය.

  1. අරමුදල විගණනය කෙරෙන ක්‍රියාවලිය කුමක් ද?

අරමුදල විගණනය කෙරෙන්නේ කෙසේ ද? යන්න තොරතුරු ඉල්ලීමේ තෙවන ප්‍රශ්නය විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ද ජනාධිපති කාර්යාලයේ තොරතුරු ලබා දීමේ ලිපියේ සඳහන්ව තිබුණේ “Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව,” පමණකි.

  1. අරමුදලට එකතු වී ඇති දෙස් විදෙස් අරමුදල් ප්‍රමාණය කොපමණ ද?
    http://www.rebuildingsrilanka.gov.lk යන අරමුදල් රැස් කිරීම සඳහා රජය හඳුන්වා දී ඇති වෙබ් අඩවියට අනුව, 2026 පෙබරවාරි 10 වන විට රු. බිලියන 6.072ක් එකතු වී තිබූ අතර, රුපියල්වලට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 10.29ක් ද එයට එකතු වී තිබිණි.

කෙසේ වෙතත්, තොරතුරු ඉල්ලීම සිදු කළ 2026 ජනවාරි 23 වන දින දක්වා අරමුදලට එකතු වී ඇති අරමුදල් ප්‍රමාණය විමසා තිබූ නමුත් ජනාධිපති කාර්යාලය පිළිතුර වී ඇත්තේ, “Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව,” ය.

  1. ‘Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී’
    ඉහත සඳහන් වූ ප්‍රශ්නවලට අමතරව “Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතියි” යන පිළිතුර ලැබුණු තවත් ප්‍රශ්න කිහිපයක් තොරතුරු ඉල්ලීමේ විය.

අරමුදල පවත්වාගෙන යාම, පරිපාලනය ඇතුළු කටයුතු සඳහා කොපමණ සේවක සංඛ්‍යාවක් සිටිනවා ද?, ඔවුන්ට වැටුප් ගෙවීමක් සිදු කරන්නේ නම් වැටුප් ගෙවීම සිදු කරන ආයතනය කුමක් ද?, මෙම අරමුදල හරහා සිදු කළ වියදම්, එම වියදම්වලට අනුමැතිය ලබා දුන්නේ කවු ද? යන ප්‍රශ්න සඳහා ද ජනාධිපති කාර්යාලයේ පිළිතුර වී ඇත්තේ, “Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතියි” යන්න පමණි.

  1. අරමුදලට කළමනාකරණ කමිටුවක් සිටිනවා ද?
    මෙම අරමුදලට සඳහා කළමනාකරණ කමිටුවක් නොමැති බව ජනාධිපති කාර්යාලය පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය විසින් 2025 දෙසැම්බර් 01 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, ‘රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත ‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව පත් කෙරේ,’ යනුවෙනි.

එය ජනාධිපති මාධ්‍ය අංශයේ නිල වෙබ් අඩවියේ ද පළ කර තිබේ.

“මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත ය,” යනුවෙන් එහි සඳහන් ය.

කෙසේ වෙතත් තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වන්නේ 2025.01.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අරමුදල සඳහා පත් කර ඇත්තේ පාලක මණ්ඩලයක් බව ය.

එහි සාමාජිකයන් මෙසේ ය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න
හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්
එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක
බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර
මෙම සාමාජිකයන් මෙම අරමුදලේ “පරිපාලන කමිටුව” ලෙස පත් කිරීමට සලකා බැලූ කරුණු ජනාධිපති කාර්යාලයේ තොරතුරු ලබා දීමේ ලිපියේ සඳහන්ව තිබේ.

විශ්වාසනීයත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජනය සහිතව පාලක කමිටුව පත් කිරීමට යෝජනා කර තිබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

  1. ඔවුන් තෝරා ගත්තේ කෙසේ ද? ඔවුන්ගේ බලතල සහ වගකීම් මොනවා ද?
    ඉහත සඳහන් කළ කළමනාකරණ කමිටුවේ කාර්යය “අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම,” යනුවෙන් 2025 දෙසැම්බර් 01 ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
ජනප්‍රිය පුවත්  ස.තො.ස. 100 ක් වැසේ ! ධම්මිකගේ 100 ක් ඇරේ !

“මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලු ම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ඇත,” යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් ය.

කෙසේ වෙතත්, තොරතුරු ඉල්ලීමෙහි සඳහන් වන මෙම “පාලක කමිටුවේ” කාර්යය සීමාව දක්වා ඇත්තේ මෙසේ ය.

“මහජන විශ්වාසය පවත්වා ගැනීම වැඩිදියුණු කිරීම සහ ආපදා ආශ්‍රිත දායකත්වයන් සඳහා මහජන සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන කඩිනම් ජාතික අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන විනිවිදභාවය, වගවීම පවත්වා ගනිමින් සහ නිසි ආයතනික ක්‍රියාපටිපාටි මූලධර්මවලට අනුකූල වෙමින්, පරිත්‍යාගයන් යොදවා ගැනීමට උපාය මාර්ගික මග පෙන්වීම සහ සම්බන්ධීකරණය සැපයීමට මෙන් ම අදාළ දැනුවත්භාවය සහ ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාලක කමිටුවේ කාර්යයන් සීමා කර ඇත.”

සූරාකන්නන්ගේ පාලනය
ඉහත අප විසින් උපුටා දැක්වූ බීබීසී හෙළිදරව්වෙන් එහාට ගිය විට මෙම අරමුදලේ ස්වභාවය පිළිබඳව බරපතළ විවේචන රැසක් පවතී.

මෙම අරමුදලේ පාලක මණ්ඩලය දෙස බලන විට පෙනී යන්නේ මෙරට මහා පරිමාණ ව්‍යාපාරික පන්තියේ දැවැන්තයන් පිරිසකි:

මොහාන් පණ්ඩිතගේ (හේලිස්)
ක්‍රිෂාන් බාලේන්ද්‍රන් (ජෝන් කීල්ස්)
අෂ්රොෆ් ඔමාර් (බ්‍රැන්ඩෙක්ස්)
ඉෂාර නානායක්කාර (LOLC)
ආචාර්ය පරාක්‍රම දිසානායක (එයිට්කන් ස්පෙන්ස්)
මෙම ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු මෙරට වතු කම්කරුවන්ගේ රුපියල් 1700 දෛනික වැටුප ලබා නොදීම සඳහා අධිකරණයේ පවා සටන් කළ, වැඩකරන ජනතාවගේ ශ්‍රමය සූරාකන බවට නිරන්තරයෙන් චෝදනා ලබන පිරිසකි. ව්‍යසනයෙන් අසරණ වූ වතු කම්කරුවා ඇතුළු ජනතාවට සහන සැලසීමේ අරමුදලක් පාලනය කිරීමට මෙවැනි “සූරාකන්නන්” පත් කිරීම හාස්‍යයට කරුණකි.

එකතු වූ “සිල්ලර” මුදල්
ලෝක බැංකුවේ GRADE වාර්තාවට අනුව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ සෘජු භෞතික හානිය පමණක් ඩොලර් බිලියන 4.1ක් (රුපියල් ට්‍රිලියන 1.2කට අධිකය) ලෙස තක්සේරු කර ඇත. යළි ගොඩනැගීමට මෙවැනි දැවැන්ත මුදලක් අවශ්‍යව තිබියදී, රජයේ වෙබ් අඩවියට අනුව පෙබරවාරි 10 වන විට එකතු වී ඇත්තේ රුපියල් බිලියන 6ක් සහ ඩොලර් මිලියන 10ක් (දළ වශයෙන් රුපියල් බිලියන 10ක් පමණ) පමණි.

මෙය අවශ්‍යතාවයෙන් 1%ක් වත් නොවන ඉතා සුළු මුදලකි. මෙවැනි සුළු මුදලක් සඳහා මෙතරම් ප්‍රචාරයක් ලබා දෙමින්, නීත්‍යානුකූල නොවන පාලන ව්‍යුහයන් සැකසීම ආණ්ඩුවේ ප්‍රතිරූපයට කිසිසේත් ගැලපෙන්නේ නැත.

“හෙල්පින් හම්බන්තොට” සිහිවෙයි ද?
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ මේ සියලු මුදල් දැනට පවතින්නේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් (DST) ගිණුමක මිස විශේෂ අරමුදලක නොවන බවයි. “නීතියක් නැති නම් Rebuilding Sri Lanka ෆන්ඩ් එකක් ගැන කතා කරන්න එපා” යැයි ඔහු පවසන්නේ ආණ්ඩුවේ විනිවිදභාවය ප්‍රශ්න කරමිනි.

මෙය 2004 සුනාමි සමයේ ඇති වූ “හෙල්පින් හම්බන්තොට” සිදුවීමට සීයට සීයක් සමාන කළ නොහැකි වුවත් (එය පෞද්ගලික ගිණුමක් වූ බැවින්), නීත්‍යානුකූල පදනමකින් තොරව සහ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මෙලෙස කටයුතු කිරීම හරහා ඕනෑම අයෙකුට මේ දෙක සංසන්දනය කරමින් වංචා චෝදනා එල්ල කිරීමට ආණ්ඩුව විසින්ම පදනමක් සකසා දී තිබේ.

එහෙත් අප එතැනට වැටෙන්නට අවශ්‍ය නැත. හෙල්පින් හම්බන්තොට සහ රීබිල්ඩින් ශ්‍රී ලංකා අතර බරපතල වෙනසක් පවතී.

2004 දෙසැම්බර් 26 වනදා දක්වා ‘සුනාමි’ යන වචනය ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව තිබුණේ නැත. එහෙත් රට පෙර නොවූ විරූ විනාශයකට මුහුණ දීමත් සමඟ, එක රැයකින් එම වචනය ජාතික ව්‍යවහාරයට එක් විය. දිවයිනේ සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මානුෂීය ආධාර වශයෙන් මිලියන ගණනක ජාත්‍යන්තර ආධාර සහ අනුකම්පාව ශ්‍රී ලංකාව වෙත ගලා ආවේය.

ඉන්පසු ගත වූ වසරවලදී “සුනාමි” සහ “හෙල්පින් හම්බන්තොට” (Helping Hambantota) යන වචන කෙතරම් සමීපව බැඳී තිබුණේද යත්, ඕනෑම විශාල ව්‍යසනයක් ගැන සඳහන් කරන විට “හෙල්පින් හම්බන්තොට” නිතැතින්ම මතකයට නැඟේ. මෙයට හේතුව ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ජාතික ඛේදවාචකයක් වූ එය, එවකට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය පෞද්ගලික සහ දේශපාලන වාසි සඳහා අවස්ථාවක් කර ගැනීමකි.

2004 දෙසැම්බර් 26 දින සුනාමිය ඇති වන විට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එංගලන්තයේ සංචාරයක නිරතව සිටියාය. ඇය වහාම මෙරටට පැමිණ රට යළි ගොඩනැගීමට පියවර ගත් අතර, 2004 දෙසැම්බර් 29 දිනැති අංක PA/272 දරන ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය හරහා ඒ සඳහා පැහැදිලි උපදෙස් නිකුත් කළාය. අනෙකුත් විධාන අතර, සුනාමි සහන සඳහා වෙනම හෝ තනි පුද්ගල බැංකු ගිණුම් විවෘත කිරීම ඇය පැහැදිලිවම තහනම් කළාය.

ජනප්‍රිය පුවත්  ජනතාවට අවශ්‍ය ගෑස් නිකුත් කිරීම අදාළ ගෑස් සමාගමේ වැඩක්! වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ

සියලුම පරිත්‍යාග තනි නම් කරන ලද ගිණුමකට බැර කළ යුතු විය: මහජන බැංකුවේ – ප්‍රධාන ශාඛාවේ (ගිණුම් අංක 204 100 190 136245) පිහිටි විපතට පත්වූවන් සඳහා වූ ජනාධිපති අරමුදල එයයි.

කෙසේ වෙතත්, 2004 දෙසැම්බර් 31 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිනියගේ ප්‍රතිචාරය පරීක්ෂා කිරීම සඳහා මෙන් මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවේ (ගිණුම් අංක 014100170136270) “පුනර්ජීවන අරමුදල” (Punarjeewana Fund) නමින් වෙනම ගිණුමක් විවෘත කළේය.

මෙම නිල ගිණුමට කිසිදු විරෝධයක් එල්ල නොවන විට ඔහු තවත් ඉදිරියට ගියේය: 2005 ජනවාරි 11 වන දින හෝ ඒ ආසන්න දිනකදී, ඔහු සිය සමීපතම හිතවතුන් අත්සන්කරුවන් ලෙස යොදා ගනිමින් රාජගිරිය ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ (ගිණුම් අංක 01-1237322-01) “හෙල්පින් හම්බන්තොට” නමින් පුද්ගලික බැංකු ගිණුමක් විවෘත කළේය.

ආන්දෝලනාත්මක හෙල්පින් හම්බන්තොට අරමුදල “Rebuilding Sri Lanka” ගිණුමට වඩා වෙනස්ය. රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප හිතවතුන් විසින් කළමනාකරණය කරන්නේ නැත.

නැවත මහින්දගේ හෙල්පින් හම්බන්තොට අරමුදලට හැරුණහොත්, එවකට අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රමයෙන් දැඩි වූ හැසිරීම්, ඔහුගේ වර්ධනය වන දේශපාලන බලය සහ පක්ෂය තුළ ඇති වූ අභ්‍යන්තර ගැටුම් හමුවේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගත් නිහඩ විය. පැළැන්තියට එල්ල වූ චෝදනාව රැකීමට තීන්දු විය. විශේෂයෙන්ම 2005 ජනාධිපතිවරණය ආසන්න වීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ අපේක්ෂකයා ලෙස ස්ථාපිත වී සිටි බැවින් ඔහුට එරෙහිව තීරණාත්මක ලෙස කටයුතු කිරීමට ඇයට නොහැකි විය.

මෙම පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් 2005 ජූලි 9 වන දින හෝ ඒ ආසන්න දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කළේය. එහි සඳහන් වූයේ ජාතික සහන කටයුතු සඳහා වූ රුපියල් මිලියන 82ක් 2005 පෙබරවාරි 3 වන දින හෝ ඒ ආසන්න දිනකදී අග්‍රාමාත්‍යවරයාගේ නිල ‘පුනර්ජීවන අරමුදලෙන්’ පෞද්ගලික ‘හෙල්පින් හම්බන්තොට’ ගිණුමට මාරු කර ඇති බවයි. නීතිපති කේ.සී. කමලසබේසන්ගේ උපදෙස් පරිදි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක ප්‍රමුඛ CID කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කළ අතර, මූලික සාක්ෂි පවතින බව පවසමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ‘බී’ (B) වාර්තාවක් ඉදිරිපත් කළේය.

මුදල් අවභාවිත කර මාස හතකට පමණ පසු, 2005 අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 82 ක මුදල හදිසියේම මහ බැංකුවේ ජාතික සහන අරමුදලට ආපසු ගෙවන ලදී. මෙම ආපසු ගෙවීම මහජන සැකය තවත් දැඩි කළ අතර, එය බොහෝ දෙනා සමාන කළේ සොරකම් කළ බඩු හෙළිදරව් වූ පසු ආපසු දෙන හොරෙකුගේ ක්‍රියාවකටය.

පරීක්ෂණය නැවැත්වීම සඳහා මහින්ද රාජපක්ෂ පසුව පොලිස්පතිවරයාට සහ CID නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC FR 387/2005) ඉදිරිපත් කළේය. 2006 මාර්තු මාසයේදී ලබා දුන් ආන්දෝලනාත්මක තීන්දුවකින්, අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා CID පරීක්ෂණය අවලංගු කළ අතර එම චෝදනා “ව්‍යාජ සහ දේශපාලනික වශයෙන් පෙලඹවූ ඒවා” බව පවසමින් මහින්ද රාජපක්ෂට වන්දි ගෙවන ලෙස නියෝග කළේය.

නඩුව එතැනින් අවසන් වුවද, එහි මතකය තවමත් ඉතිරිව පවතී. එය ශ්‍රී ලංකාවේ ආපදා සහන පාලනය පිළිබඳ වඩාත්ම මතභේදාත්මක පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වූ අතර ජාතික හදිසි අරමුදල් හැසිරවීම පිළිබඳ මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු කළේය. පසුව 2014 වසරේදී වාර්තා වූයේ, සරත් එන්. සිල්වා මහතා සිය විශ්‍රාමික ජීවිතයේදී මහින්ද රාජපක්ෂට එරෙහි එදා සිදු කෙරුණු පරීක්ෂණ අවලංගු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව අයැද සිටි බවයි.

ඒ අනුව අපගේ මෙම උත්සාහය තුළින් රීබිල්ඩින් ශ්‍රී ලංකා වැනි අරමුදලක් කළමණාකරණය පිළිබද විවේචනයකුත්- හෙල්පින් හම්බන්තොට වැනි මහා වංචාවකුත් පටලවා දෙකම එක හා සමාන ලෙස හුවා දැක්වීම නොවේ.

දැන් ප්‍රශ්නය මේකය.

‘වෙනසක්’ පොරොන්දු වී බලයට පත් වූ ආණ්ඩුවක්, “හොල්මන්” අරමුදල් පවත්වාගෙන යාම කනගාටුදායකය. ආණ්ඩුවට වැඩ කිරීමට නීති තිබේ.

ජනතාව අපේක්ෂා කරන්නේ ප්‍රදර්ශනාත්මක උත්සව සහ ව්‍යාපාරික හිතවතුන්ගේ පාලක මණ්ඩල නොවේ. ඔය ව්‍යාපාරිකයන් ජනතාවට කරන බක්කක් නැත. ආන්ඩුව පවත්වාගෙන යා යුත්තේ විනිවිද පෙනෙන නීත්‍යානුකූල සහන සේවාවකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x