ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව දෙන්න! රාජ්‍ය බුද්ධි අංශ උපදෙස්!
1 min read
රට තුළ වේගයෙන් වර්ධනය වී තිබෙන ජනතා පීඩනය ඕනෑම අවස්ථාවක පිපිරයාමේ අවධානම ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බැවින් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තරකිරීමට කඩිනමින් පියවර ගත යුතු බව රාජ්‍ය බුද්ධි සේවාව ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබේ.
ආණ්ඩුව කෙරෙහි වූ විශ්වාසය විශාල වශයෙන් බිඳ වැටීමත් මහජනතාව මුහුණපා ඇති සමාජ -ආර්ථික පීඩනයන් හේතු කොට ගෙන ඕනෑම අවස්ථාවක ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ප්‍රචණ්ඩා ආකාරයේ පුරවැසි ප්‍රතිචාරයකට ගොදුරු විය හැකි බව මෙම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ගේ අත්සනින් නිකුත් කර තිබෙන එම වාර්තාව ජනාධිපතිවරයා අතට පත්කර ඇත්තේ ජනවාරි 30 වැනි දාය.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රත්න ගමගේ පසුගිය දා සහභාගි වූ උත්සවයක දී එහි සිටි පුරවැසියන් ඔහුට තර්ජනය කර ඇත්තේ ඉතා ප්‍රචණ්ඩ ස්වරූපයෙනි. ‘උබලා දැන ගනිල්ලා අපි ළඟදීම පාරට බහිනවා“ යනුවෙන් රැස්ව සිටි පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තර්ජනය කර තිබේ. මෙවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ රට පුරා සිදුව ඇති බව බුද්ධි අංශ නිරීක්ෂණය කර තිබේ.
ගල් අඟුරු ටෙන්ඩරය හරහා සිදු කර ඇති කෝටි ගණනක වංචාව විසින් ද ආණ්ඩුව පිළිබඳ ජනතා වෛරය උස්සන්න වීමට හේතු වී ඇත. විවිධ විරෝධතා හා වැඩ වර්ජන ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
පසුගිය දා සේවාවන් ගණනාවක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරන ලද්දේත්, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම පිණිස බල ගන්වන ලද හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මකව තබාගනු ලබන්නේත් නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ දරනුයේත් බුද්ධි අංශ මගින් අනතුරු අඟවා තිබෙන මෙම තත්ත්වයට මුහුණ දීම පිණිසය.
තිලකානන්ද වීරමුණි
