ඖෂධ හිඟය, බාල ඖෂධ ජාවාරම, සෞඛ්ය ක්ෂේත්රයේ දූෂණ අක්රමිකතා හෙළිදරව් කිරීමත් අලුත් පනතින් ත්රස්තවාදී ක්රියාවක්.. – විශේෂඥ වෛද්ය චමල් සංජීව
1 min read
රජය අලුතින් සම්මත කර ගැනීමට සූදානම් වන ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත’ සහ ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත’ තුළ පවතින අපැහැදිලි ප්රතිපාදන හේතුවෙන්, මෙරට පවතින ඖෂධ හිඟය, බාල ඖෂධ ජාවාරම සහ සෞඛ්ය ක්ෂේත්රයේ දූෂණ අක්රමිකතා හෙළිදරව් කිරීම පවා ‘ත්රස්තවාදී ක්රියාවක්’ ලෙස අර්ථකථනය කර වෘත්තීය සමිති හා සිවිල් නායකයින් සිරගත කිරීමේ බරපතළ අවදානමක් පවතින බව වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා පවසයි.
ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ මාධ්ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, නීතිය ක්රියාත්මක කරන නිලධාරීන්ට අසීමිත සහ අභිමත බලයක් පවරන මෙම අණපනත් මගින් මෙරට මූලික මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් මුළුමනින්ම මකා දැමීමට කටයුතු සූදානම් වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා මෙසේද සඳහන් කළේය.
“යම් හෙයකින් මෙවැනි මර්දනකාරී නීති පසුගිය කාලසීමාවේදී ක්රියාත්මක වූයේ නම්, බාල ඖෂධ ගෙන්වූ හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්ය අමාත්යාංශයේ දූෂිත නිලධාරීන්ට එරෙහිව මහජන උද්ඝෝෂණ සහ සිවිල් සටන් දියත් කිරීමට අපට කිසිසේත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එසේ වූවා නම් අදටත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්ය ධුරයේම වැජඹෙනු නොඅනුමානයි.
මෙම කෙටුම්පත්වල පවතින අපැහැදිලි නිර්වචන ප්රයෝජනයට ගනිමින්, අධ්යාපන හෝ සෞඛ්ය ක්ෂේත්රයේ ගැටලු සහ මහජන පීඩාවන් සම්බන්ධයෙන් හඬ නගන රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය ඇතුළු ප්රමුඛ පෙළේ වෘත්තීය හා සිවිල් සංවිධාන පවා ‘ත්රස්තවාදී සංවිධාන’ ලෙස ලේබල් කිරීමට මෙමගින් නීතිමය ඉඩකඩ නිර්මාණය වෙනවා.
අද වන විට මුළු ලොව පුරාම ආර්ථික, සෞඛ්ය සහ අධ්යාපන අර්බුද හමුවේ කලකිරීමට පත් සිවිල් වැසියන් සහ තරුණයින් පාලකයන්ට එරෙහිව අරගල කරනවා. එහෙත් ලෝකයේ කිසිදු ශිෂ්ටසම්පන්න රටක් එම සාධාරණ ජනතා අරගල ත්රස්තවාදී ක්රියා ලෙස හඳුන්වන්නේ නැහැ. ආණ්ඩුව මේ සූදානම් වන්නේ දේශපාලන පක්ෂ මර්දනයෙන් නොනැවතී, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ ආගමික සංවිධාන පවා දඩයම් කර මුළුමනින්ම නිහඬ කිරීමටයි. තමන් මුහුණ දෙන අසාධාරණයන් පිළිබඳව පුරවැසියෙකු සමාජ මාධ්ය ජාලාවල සටහනක් තැබීම පවා ත්රස්තවාදී වරදක් බවට පත්කිරීමට හැකි මෙම අන්තරායකාරී තත්ත්වය පිළිබඳව මුළු රටම වහා අවදි විය යුතුයි.”
