ඥානසාර හිමිගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කරලා.. – ගම්මන්පිලගෙන් අනාවරණයක්
1 min read
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
පසුගිය ඔක්තෝබර් 08 වන දින බන්ධනාගාරයට ගොස් ඥානසාර හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ පිළිබඳව තමන්ට පැහැදිලි කළ බව ඔහු සඳහන් කළේය.
2018 වසරේද මෙවැනිම සිදුවීමකදී හිමියන්ගේ විරෝධය මත නිලධාරීන් එය අත්හැර දැමුවද, මෙවර නිලධාරීන් පිරිසක් එකතුවී බලහත්කාරයෙන් ජම්පරය ඇන්දවීමට උත්සාහ කර ඇත.
මෙම සිදුවීම බන්ධනාගාර නිලධාරියෙකු විසින් ජංගම දුරකථන කැමරාවක් මඟින් වෙනත් ස්ථානයක සිටින අයෙකුට නිරීක්ෂණය කිරීමට සලසා දී තිබූ බවත්, උන්වහන්සේගේ සහ අදාළ නිලධාරීන්ගේ බලවත් අකමැත්ත මත ඉහළ නායකයන්ගේ බලපෑමක් නිසා මෙම සිදුවීම සිදුව ඇති බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,
”ගලබොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි පසුගිය ඔක්තෝබර් 08 වැනිදා මම උන්වහන්සේ බැහැදකින්න වැලිකඩ බන්ධනාගාරයට ගියා. එතනදී උන්වහන්සේගේ සිවුරු ගලවලා ජම්පර් ඇන්දවීම සිදුවුණේ කොහොමද කියන එක ගැන මට පැහැදිලි කිරීමක් සිද්ධ කළා. 2018 දී වගේම මේ අවස්ථාවෙත් නිලධාරීන් ජම්පර් අන්දන්න උත්සාහ කරද්දී හාමුදුරුවෝ සුපුරුදු පරිදි විරෝධය පළ කළා. නමුත් 2018 දී හාමුදුරුවන්ගේ විරෝධය හමුවේ නිලධාරීන් වැඩේ අතහැරියත් මෙවර නිලධාරීන් වැඩේ අත්හරින්න සූදානම් වුණේ නැහැ. ඒ වෙනුවට නිලධාරීන් විශාල පිරිසක් එකතුවෙලා හාමුදුරුවන්ව බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමේ වෑයමක නිරත වුණා.
මෙතනදී එක නිලධාරියෙක් තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරමින් කවුරුහරි වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට නිලධාරීන් බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමට දරන වෑයම නිරීක්ෂණය කරන්න අධීක්ෂණය කරන්න අවස්ථාව සලසා දුන්නා කියන එක හාමුදුරුවෝ දැකලා තිබුණා. ඒ නිසා හාමුදුරුවන්ට ජම්පර් ඇන්දවීම සිදුවුණේ හාමුදුරුවන්ගෙත්, නිලධාරීන්ගෙත් බලවත් අකමැත්ත තිබියදී මාලිමාවේ ඉහළ නායකයන්ගේ බලපෑම මතයි කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
අවසාන වශයෙන් තමන්ගේ ඇඟේ ඉතුරු වුණු භික්ෂූත්වය එකම ලකුණ වෙච්ච අඳනකඩය ගලවල අතට ගත්තම හාමුදුරුවෝ දැඩි කම්පාවකට පත්වුණා. නිලධාරීන් ඒ අඳනකඩය භාරගන්න අත් දිගු කරාම හාමුදුරුවෝ මනසේ ඇතිවෙලා තිබ්බ දැඩි කම්පනය නිසා නිලධාරීන්ට අඳනකඩය දෙන්නේ නැතුව අඳනකඩය උඩට විසි කරා. ඒක ඒ ස්ථානයේ කැරකැමින් තිබුණු විදුලි පංකාවේ රැඳී තිබෙනවා. ඥානසාර ස්වාමීන් වහන්සේට ජම්පරේ ඇන්දවීම සිදුවුණේ උන්වහන්සේගෙත්, නිලධාරීන්ගෙත් දෙපාර්ශ්වයම බලවත් අකමැත්ත මත ඉහළින් ආපු බලපෑමක් නිසාය කියන එක අපි අවධාරණයෙන් කියා සිටිනවා.”
