ඥාණසාර හිමියන් කාර් එකේ දාගෙන ඇල්පිටියට වැඩම්මුව බැංකු නිලධාරියා රිමාන්ඩ්!
1 min read
අධිකරණ තුනකින් වරෙන්තු ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ බැංකු නිලධාරියෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය ප්‍රදේශයේ පදිංචි දමිත් අන්ජන වනිගසේකර නමැති සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, විත්තිකාර ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර ඇති බව දැන දැනම, සැකකරු විසින් සිය මෝටර් රථයෙන් උන්වහන්සේව රාජගිරියේ සිට ඇල්පිටිය ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කර ඇති බවයි.
රටේ පවතින නීතියට ගරු නොකරමින් සහ අධිකරණ නියෝගවලට අවනත නොවෙමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවත්, සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බැවින් මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
