ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ආවේ පොඩි ගිවිසුම් අත්සන් කරන්න වෙන්න බැහැ – පුබුදු ජයගොඩ
1 min read
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා මෙරට සංචාරයක නිරත වූයේ ආණ්ඩුව ප්‍රකාශ කරන ආකාරයේ සරල හා සුළු ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නොවන බවත්, ආණ්ඩුව විසින් ජනතාවගෙන් වසන් කරන ලද සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහා හෙළි කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අවධාරණය කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ශිෂ්‍යභට පුහුණු හුවමාරුව, ආරක්ෂක විශ්වවිද්‍යාල සහයෝගීතාව සහ ඉන්දියාවෙන් ලබා දුන් අවි නඩත්තුව සම්බන්ධ ගිවිසුම් තුනක් අත්සන් කළ බවට රජය ප්‍රකාශ කළ ද, එවැනි සුළු ගිවිසුම් සාමාන්‍යයෙන් අමාත්‍යාංශ මට්ටමේ පහළ නිලධාරීන් විසින් අත්සන් කරනු ලබන ඒවා බවයි.
ඓතිහාසික පසුබිම සිහිපත් කරමින් ජයගොඩ මහතා සඳහන් කළේ, මීට පෙර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු අවසන් වරට මෙරටට පැමිණියේ මීට වසර 38කට පෙර, එනම් 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු ඇති වූ දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ 1988 වසරේදී එවකට ආරක්ෂක අමාත්‍යවරයාව සිටි කේ. සී. පාන්ත් (K. C. Pant) මහතා බවයි.
එබැවින් වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙරටට පැමිණියේ පාසල් ළමුන්ගේ කැඩෙට් පුහුණුවක් හෝ තුවක්කු නඩත්තුවක් ගැන කතා කිරීමට යැයි පැවසීම බුද්ධිමත් කිසිවෙකුටත් පිළිගත නොහැකි බව හෙතෙම කියා සිටියේය.
එමෙන්ම, 2025 ජනවාරි මාසයේදී ජනාධිපතිවරයා ඉන්දියාවේ කළ සංචාරයේදී ඇතිකරගත් එකඟතා හෝ 2025 අප්‍රේල් 05 වනදා නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී අත්සන් තැබූ ගිවිසුම් හතේ පිටපත් මෙතෙක් රටට හෙළිදරව් කර නොමැති බව ද ඔහු චෝදනා කළේය.
එකල අත්සන් කළ ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම නිල නීතිමය ගිවිසුමක් බවට පත් කිරීම සඳහා සාකච්ඡා කිරීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ බව ද ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් ආණ්ඩුව සියලු කටයුතු ජනතාවට හොරෙන් සිදුකරන බවට චෝදනා කළ පුබුදු ජයගොඩ මහතා, දෙරටේ රාජ්‍යයන් අතර සැබවින්ම සාකච්ඡා වූ කරුණු, ඇති කරගත් රහසිගත එකඟතා සහ අත්සන් තැබූ සැබෑ ගිවිසුම් මොනවාදැයි රට හමුවේ වහාම අනාවරණය කරන ලෙස රජයට දැඩිව බලකර සිටියේය.
