ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
1 min read
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවී ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මීට අමතරව, කොළඹ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමටද අමාත්‍යවරයා සැලසුම් කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඉන්දීය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත උසස් පෙළේ දූත පිරිසක්ද මෙම සංචාරයට එක්වන අතර, රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 10 වනදා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ අප්‍රේල් 5 වනදා ඉන්දියාවේ කළ සංචාරයේදී අත්සන් තැබූ ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු වීමට නියමිතය.
රාජ්නාත් සිං මහතා බදාදා දිනයේදී ජනාධිපතිවරයා හමුවන අතර, පාර්ලිමේන්තු සංචාරයක් අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවීමට නියමිතව තිබේ. විශේෂත්වයක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන දිනයේදී ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය (OCDS) අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ද පැවැත්වීමට නියමිතව තිබීමයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන සිං මහතා, ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ඉන්දීය ආධාර මත සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇතුළු ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙම සංචාරයේදී නිරීක්ෂණය කිරීමට නියමිතය.
