අනුරගෙ කයිය, ඉලක්කම් විජ්ජාව සහ මහ පොළොවෙ යථාර්ථය..
1 min read
එනම්.., උද්ධමනය, බාල්දු වන රුපියල සහ $5,000 ඒක පුද්ගල ආදායමේ ඇස්බැන්දුම…
පසුගිය කාලය පුරාම අපේ රටේ මිල මට්ටම්, මහ බැංකු තීරණ සහ ඩොලරයේ අගය ගැන විවිධ ආර්ථික මතවාද ඇතිවුණා.
2024 වසරේදී රට තුළ “අවධමන” (Deflation) තත්ත්වයක්, එනම් මිල මට්ටම් යම් දුරකට පහළ යාමක් පෙනෙන්නට තිබුණත්, ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව ජාතික උද්ධමනය නැවතත් 6.5% ක් (ජූනි 2026) දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, “රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 පැන්නා” වැනි ඉලක්කම් අපිට ඇසෙන්නට ලැබෙනවා..
එය එසේ නම් සාමාන්ය මිනිසාට තවමත් ජීවත් වීම අසීරු ඇයි?
උද්ධමනය පවතින විට භාණ්ඩාගාරයේ මුදල් ගොඩගසා තැබීමෙන් සිදුවන විනාශය කුමක්ද?
මේ පිළිබඳව ආර්ථික විද්යාත්මකව අප සැමදෙනාම දැනගත යුතු නොවන්නේද…?
🔴 01. උද්ධමනය පවතින විට භාණ්ඩාගාරයේ මුදල් රැස්කර තැබීමේ සෘණාත්මක ප්රතිඵල..
රටක උද්ධමනය පවතින විට, රජය හෝ භාණ්ඩාගාරය (Treasury) මුදල් සංසරණයට නොදමා “රැස් කර තබා ගැනීම” හෝ අක්රියව තැබීම ආර්ථිකයට බරපතළ සෘණාත්මක බලපෑම් ඇති කරයි:
මුදලේ සැබෑ අගය ක්ෂය වීම (Opportunity Cost): උද්ධමනය පවතින විට මුදලේ ක්රය ශක්තිය (Purchasing Power) දිනෙන් දින අඩු වේ.
භාණ්ඩාගාරය රුපියල් බිලියන ගණනක් අක්රියව තබාගෙන සිටින විට, උද්ධමන වේගය අනුව එම මුදල්වලින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්රමාණය ස්වයංක්රීයවම අඩු වේ.
එනම්, මුදල් තිබුණත් එහි වටිනාකම දියවී යයි.
භාණ්ඩාගාරයේ මුදල් රැස් කර තබාගන්නවා වෙනුවට ඒවා සංවර්ධන ව්යාපෘති, යටිතල පහසුකම් හෝ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට යෙදවිය යුතුය.
මුදල් සිරකර තැබීමෙන් වෙළඳපොළේ ප්රාග්ධන හිඟයක් ඇතිවන අතර, ව්යාපාර වර්ධනය අඩාල වී රැකියා උත්පාදනය නැවතී යයි.
රජය මහජනතාවගෙන් අධික ලෙස බදු අයකර, එම මුදල් භාණ්ඩාගාරයේ තබාගන්නේ නම්, එයින් ජනතාවගේ අතේ ගැවසෙන මුදල් ප්රමාණය (Disposable Income) තවත් අඩු වේ.
එවිට, උද්ධමනය මැද ජනතාව තවත් අසරණ වන අතර, එම මුදල් ඵලදායී ලෙස ආර්ථිකයට මුදා නොහැරීමෙන් මුළු රටේම ආර්ථිකය එකතැන පල්වෙයි…
🔴 02. ඩොලර් 5,000 ඒක පුද්ගල ආදායම හෙවත් උද්ධමනය හමුවේ මවන ඉලක්කම්”මායාව”…
ශ්රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික සමාලෝචනයට අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම (GDP per Capita) ඩොලර් 5,003 සීමාව ඉක්මවා ගොස් ඇති බව කියයි..
නමුත් ආර්ථික විද්යාත්මකව බලන විට, උද්ධමනය පවතින රටක මෙම ඉලක්කම් හුදු “මායාවක්” (Nominal Illusion) පමණකි…
මෙය විග්රහ කර බැලිය යුත්තෙ නාමික ආදායම (Nominal) සහ සැබෑ ආදායම (Real) අතර වෙනස මතයි..
ඩොලර් 5,000 ලෙස ගණනය කරන්නේ ‘නාමික ඒක පුද්ගල ආදායමයි’..
එමගින් රටේ පවතින බඩු මිල ඉහළ යාම (උද්ධමනය) අඩු කරන්නේ නැත.
උදාහරණයකට, ඔබේ වැටුප් ඉලක්කම 05 %කින් වැඩි වුවත්, රටේ බඩු මිල 10%කින් වැඩි වී ඇත්නම්, ඔබේ ආදායම සැබෑ ලෙසම වැඩි වී නැත; එය අඩු වී ඇත. ඩොලර් 5,000 කතාවද එසේමය.
මෙයට හොදම උදාහරණය මුදලේ ක්රය ශක්තිය බිඳවැටීමයි..
2018 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,372ක් ලෙස පැවති කාලයේ රුපියලක තිබූ වටිනාකම සහ අද වටිනාකම අහසට පොළොව මෙන්ය..
අද ඩොලර් 5,000ක් තිබුණත්, උද්ධමනය නිසා අධික ලෙස මිල ඉහළ ගොස් ඇති ආහාර, නිවාස, ඉන්ධන සහ ඖෂධ මිලදී ගැනීමේදී එම මුදල ප්රමාණවත් නොවේ.
ආදායම් බෙදී යාමෙ අසමානතාවය (Income Inequality) නිසාද එය හුදු මායාවක් පමණි..
ඒක පුද්ගල ආදායම යනු රටේ සමස්ත දේශීය නිෂ්පාදිතය (GDP) මුළු ජනගහනයෙන් බෙදා ලැබෙන සාමාන්ය අගයකි.
මෙයින් රටේ ධනය සුළු පිරිසක් අතර කේන්ද්රගත වී ඇති බව පෙනෙන්නේ නැත.
උද්ධමනය නිසා දිළිඳු ජනතාව තව තවත් අගාධයට යන අතර, සංඛ්යාලේඛනවලින් පෙන්වන ඩොලර් 5,000 සාමාන්ය ජනතාවගේ සාක්කුවට ලැබෙන්නේ නැත.
🔴 03. උද්ධමනය සහ රුපියල අවප්රමාණය වීමෙන් ආර්ථිකයට වන පොදු හානිය
සැබෑ ආදායම සේදී යාම හෙවත් මිනිසුන්ගේ ක්රය ශක්තිය නැති වී යන අතර පෙර රුපියල් 1,000කින් මිලදී ගත් භාණ්ඩ ප්රමාණය අද රුපියල් 1,500කටවත් ගැනීමට නොහැකි වේ.
ඉතුරුම් අධෛර්යමත් වීම නිසා මුදලේ අගය වේගයෙන් අඩුවන විට බැංකුවලින් ලැබෙන පොලියට වඩා උද්ධමන වේගය වැඩි නම්, ඉතුරුම්වලින් ඇති වැඩක් නැති බැවින් මිනිසුන් බැංකුවල මුදල් තැන්පත් කිරීම අඩු කරයි.
ආනයනික උද්ධමනය (Imported Inflation) හෙවත් රුපියල බාල්දු වන විට (ඩොලරය ඉහළ යන විට) අප පිටරටින් ගෙන්වන ඉන්ධන, ගෑස්, ඖෂධ සහ කිරිපිටි සඳහා වැඩි රුපියල් ප්රමාණයක් ගෙවන්නට සිදු වේ.
විදේශ ණය බර රුපියල්වලින් ඉහළ යාම නිසා අලුතින් කිසිම ණයක් නොගෙනම, ඩොලරයේ අගය ඉහළ යන විට රුපියල්වලින් ගෙවිය යුතු ණය ප්රමාණය ස්වයංක්රීයවම රුපියල් බිලියන ගණනකින් වැඩි වේ…
සංඛ්යාලේඛන සහ ඉලක්කම්වලින් රටක් දියුණු වී ඇති බවට කයිවාරු ගැහුවාත් රට තුළ පවතින උද්ධමනය පාලනය නොකරන තාක් සහ රුපියලේ ස්ථාවරත්වය සුරක්ෂිත නොකරන තාක්, මහජනතාවට එහි සැබෑ සහනයක් ලැබෙන්නේ නැත.
භාණ්ඩාගාරයේ මුදල් සිරකර තැබීම වෙනුවට ඒවා ඵලදායී නිෂ්පාදන ආර්ථිකයකට මුදාහැරීමත්, සංඛ්යාලේඛන මායාවන්ගෙන් ඔබ්බට ගොස් ජනතාවගේ සැබෑ ක්රය ශක්තිය (Real Purchasing Power) නැංවීමත් වහාම සිදුවිය යුතුය.
ආර්ථික ස්ථාවරත්වය රැකගැනීම යනු දේශපාලන ප්රොපගැන්ඩා එකක් ලෙස නොව රටක ජනතාවට දැනෙන ආර්ථික විභවයක් විය යුතුය..
නිලන්ත සත්සර ගමගේ ✍️
🔴 පහත දැක්වෙන්නෙ අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වූ දා සිට ” උද්ධමනය ” සහ ” ඩොලරයෙ අගය” ඇතුලත් ප්රස්ථාර දෙකකි.

