ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි..
1 min read
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් පසුගිය මාස හතරක කාලය තුළ පමණක් රුපියල් බිලියන 4.5කට (කෝටි 450ක්) අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය වී තිබේ.
නොරොච්චෝල බලාගාරයෙන් ජාතික පද්ධතියට අවශ්‍ය සම්පූර්ණ විදුලි ධාරිතාව සැපයීමට නොහැකි වී ඇත්තේ මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා බව ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා එහිදී සාක්ෂි දෙමින් තහවුරු කළේය.
බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලෙන් අහිමි වූ විදුලි ධාරිතාවය පියවා ගැනීමට රජයට සිදු වී ඇත්තේ කෙරවලපිටිය ‘සොබාදනවි’ ඩීසල් බලාගාරයෙනි. අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම නිසා මහජන මුදලින් රුපියල් කෝටි 450ක දැවැන්ත අමතර පාඩුවක් රටට සිදුව ඇත.
මෙම ගනුදෙනුවේදී සිදුව ඇති මුදල් ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳවද කොමිසමේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් විය. විදුලි ජනන පුද්ගලික සමාගමේ සභාපති මහාචාර්ය සාලිය ජයසේකර මහතා හෙළි කළේ, ගල් අඟුරු තොග ලංකාවට පැමිණ එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමටත් පෙර, පැටවුම් වරායේ රසායනාගාර වාර්තා පමණක් පදනම් කරගෙන මුළු මුදලින් 80%ක්ම අදාළ සමාගමට ගෙවා දමා ඇති බවයි. මෙරටදී සිදුකරන පරීක්ෂණ වාර්තා මත ගෙවීමට ඉතිරි කර ඇත්තේ 20%ක් වැනි සුළු මුදලකි.
පැටවුම් වරායේ වාර්තා සහ මෙරටදී සිදුකළ පරීක්ෂණ වාර්තා අතර පැහැදිලි වෙනස්කම් පවතින බවද මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, ‘Bureau Veritas’ නැමති ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණ ආයතනය ලබා දුන් වාර්තා සහ නොරොච්චෝල බලාගාරය මඟින් සිදු කළ දේශීය පරීක්ෂණ වාර්තාවල සඳහන් ගල් අඟුරු ප්‍රමිතිය සමාන වන බව කොමිසමේදී වැඩිදුරටත් සනාථ වී තිබේ.
මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට මෙන්ම මෙරට සාමාන්‍ය මහජනතාවටද ඉතා විශාල මූල්‍යමය පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බව මෙම කරුණු අනුව නිරීක්ෂණය වේ.
