බන්ධනාගාර කොමසාරිස් හා වැලිකඩ ප්‍රධාන ජේලර් මානව හිමිකම් කොමිසම හමුවට
1 min read
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හා වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බව මානව හිමිකම් කොමිසම නිවේදනය කර තිබේ.
ඒ පසුගිය 7 වැනිදා කොමිෂන් සභාවට වැලිකඩ බන්ධනාගාරයට පිවිසීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ තත්ත්වයන් පිළිබඳව විමසීම සඳහාය.
පසුගිය 7 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළට කොමිෂන් සභා කාර්ය මණ්ඩලය ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් කොමිසම පවසන්නේ, එය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බවයි.
විශේෂයෙන්ම, වධහිංසා පැමිණවීම් හා වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා සහ තොරතුරු පවතින විට, බන්ධනාගාරවල සුබසාධනය පිළිබඳ අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට කොමිෂන් සභාවට ඇති අධිකාරී බලය එම ක්‍රියාව මගින් දැඩි ලෙස අවතක්සේරු කර ඇති බවද කොමිෂන් සභාව අවධාරණය කරයි.
කෙසේවුවද, පසුගිය 8 වැනි දින කොමිෂන් සභාවට බාධාවකින් තොරව බන්ධනාගාරයට ඇතුළුවීමට අවස්ථාව ලබාදුන් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති බවද කියා සිටී.
එම රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ප්‍රමාද වී ඇති බවද කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
එවැනි සිරකරුවන්ට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත්, ප්‍රතිකාර ලබා දීමේ ඕනෑම ක්‍රමානුකූල ප්‍රමාදයක් පළිගැනීමක් විය හැකි බවත් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.
