ඒකාබද්ද විපක්ෂයට චම්පකගෙන් යෝජනාවක් ! රනිල් එරෙහි වෙයි !
1 min read
මේ වනවිට එල්ල වී ඇති හරක්කටා ගේ බිරිඳගෙන් මුදල් ගත්තාය යන චෝදනාව හේතුකොටගෙන විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් කළයුතුයැයි හිටපු අමාත්‍ය චම්පක රණවක තම ගෝලයක වූ බන්දුල චන්ද්‍රසේකර මගින් යෝජනා කර තිබේ. මෙම යෝජනාව ඔහු ඉදිරිපත් කර ඇත්තේ පසුගිය දා හිටපු අමාත්‍ය ජී.ඇල්. පීරිස්ගේ නිවසේ දී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හමු වූ අවස්ථාවේ දී ය.
චම්පක රණවක බන්දුල චන්ද්‍රසේකර ලවා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එම ඒකාබද්ද විපක්ෂය තුළ ඉදිරි ජනාධිපතිවරණයට තරගවැදීම සඳහා සුදුස්සකු තෝරාගනු ලබන විට, තමන්ට තර්ජනයක් එනු ඇත්තේ විජේදාස රාජපක්ෂගෙන්යැයි තක්සේරු කර තිබෙන නිසාය. කෙසේ වෙතත් එම යෝජනාව සාකච්ඡාවට ගැනී ඇතත්, ඒ පිළිබඳ අවසන් තීරණයක් අදාළ සාකච්ඡාවේ දී සිදුකර නැතැයි පැවසේ.
මේ අතර, චම්පක රණවක හිටපු අමාත්‍යවරයාගේ මෙම යෝජනාව දැනගත් වහාම, මේ පිළිබඳව උරණ වී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඔහු හමු වී තිබේ. එම හමුවේදී හිටපු ජනාධිපතිවරයා විසින් චම්පක රණවක බන්දුල චන්ද්‍රසේකර ලවා ඉදිරිපත් කර තිබෙන යෝජනාව ගැන දැනුම්වත් කර ඇති අතර, තමා හෝ ඒකාබද්ධ විපක්ෂය මේ දුෂ්කර අවස්ථාවේ දී විජේදාස රාජපක්ෂ අතහැර නොයන බව අවධාරණය කර තිබේ.
වත්මන් ආණ්ඩුව තෝරාගත් දේශපාලනඥයන් පමණක් ඉලක්කකර විවිද ගණයේ විමර්ශන සිදුකරන පමණින්, ඒ පිළිබඳ නිවැරදි විමර්ශනයක් සිදුකර අවසන් විය යුත්තේ අධිකරණ තීන්දුවකින් බවත්, ඊට පෙර ආණ්ඩුවේ මර්දනකාරී අරමුණ දිරිගැන්වෙන සුළු එම දඩයමට ගොදුරුව ඇති දේශපාලනඥයන් විපක්‍ෂය විසින්ම හුදෙකලා කිරීම නොකළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මෙහි දී අවධාරණය කොට ඇත.
පසුව මේ මුණගැසීම පිළිබඳව දැනගත් ඒකාබද්ද විපක්ෂයේ සෙසු නායකයින්ද හිටපු ජනාධිපතිවරයාගේ මතය නිවැරදියැයි පිළිගෙන තිබෙන අතර, චම්පක රණවකගේ “වන් මෑන් ෂෝ” එක විපක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් වී ඇතැයි යන නිගමනයට ද පැමිණ තිබේ. ඉදිරියේ දී මීට අදාළව ඇතැම් පියවර ගැනීම පිළිබඳව ද ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡා වී ඇත.
- සුසිල් දමයන්ත –
