“රටේ පාලකයෝ පොසොන් මංගල්‍යය පවත්වන්න අනුග්‍රහය දක්වන්නේ නැහැ” – මිහින්තලේ හිමි
1 min read
මෙරට පාලකයින් රටේ ජනතාවට සහ බුදුදහමට ණයගැති බවත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද ජනතාව සිය ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමට කැපවී සිටින බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
මිහින්තලා පුදබිමේ පැවති ආගමික වැඩසටහනක් අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් රජය නිසි අනුග්‍රහයක් ලබා නොදීම පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කළහ.
“අනේ මිහිඳු මහරහතන් වහන්ස, ලංකාවේ මිනිස්සුන්ට සමා වෙන්න. ඔබවහන්සේ නිසා අපිට බුදුදහම, ශික්ෂණය සහ විනය ලැබුණා. නමුත් අද වෙනකොට මේ රටේ පාලකයෝ පොසොන් මංගල්‍යය පවත්වන්න අනුග්‍රහය දක්වන්නේ නැහැ” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.
රටේ පවතින දරිද්‍රතාවය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, රජයේ සේවකයන්ට පවා සහන මිලට සහල් ලබාදීමට සිදුව ඇත්තේ ‘ලීසිං’ ක්‍රමයට හෝ වාරික වශයෙන් ගෙවීමේ පදනම මත බවයි.
ලෝක ආහාර සංවිධානය මගින් ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව ආහාර අර්බුදයක් පවතින රටවල් ලෙස නම් කර ඇති බව ද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.
රජය සහය නොදැක්වුවද, මෙරට ජනතාව සිය සත පනහ, රුපියල එකතු කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙනුවෙන් දන්සල් පවත්වන බව නාහිමියෝ පෙන්වා දුන්හ.
“මේ රටේ මිනිස්සු ණය නැහැ, පාලකයෝ තමයි ණය. මිනිස්සු තමන්ගේ මහන්සියෙන් මේ පින්කම් සිද්ධ කරනවා. පාලකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් ආගමික කටයුතු මගහරිද්දී, ජනතාව මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් පෙළගැසී සිටිනවා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
