ශෂී වීරවංශගේ අභියාචනය ඉවතට
1 min read
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.
අසත්‍ය ලේඛන ඉදිරිපත් කර අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලද්දේ 2022 මැයි 27 වනදා ය. එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඒ අනුව 2022 මැයි 31 වනදා ඇයව රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කර තිබිණි.
අද දිනයේදී ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ ආකාරයෙන් ශෂී වීරවංශ විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයයි. එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොලඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ පෙත්සම්කාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව ස්ථිර කරන බවයි.
ඒ අනුව ඇයට නියම වුණු සිරදඬුවම සහ දඩය යළි බලාත්මක වේ.
