නීතිය තිබ්බාට අපි රීබිල්ඩින් අරමුදල හැදුවේ සද්භාවයෙන්. අපි මේ රාජපක්ෂලා වගේ සුනාමි හොරු නෙවෙයි – බිමල්
1 min read
ඕනෑම ආණ්ඩුවක් තුළ ඇතැම් දේවල් ප්‍රායෝගිකව පැවතුණත් ඒවා නීත්‍යානුකූලව ඒ ආකාරයෙන්ම නොපවතින අවස්ථා ද තිබිය හැකි බව ප්‍රවාහනය, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, සභානායක බිමල් රත්නායක මහතා පවසයි.
“රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල පිළිබඳව විශාල වැරදි මතයක් මුදල් කාරකසභාව කරගෙන යනවා. රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන අරමුදල එහෙම එකක් පිහිටුවලා නෑ, ඒක නීතිවිරෝධීයි කියලා කටින් අල්ලාගන්න හදනවා නිලධාරීන්ට තගදාලා. ගරු කථානායකතුමනි, හැම ආණ්ඩුවකම ඕනෙම දෙයක් නීත්‍යානුකූල වෙන්නෙ – හැම දෙයක්ම ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්, හැබැයි හැම දෙයක්ම ලීගලි ඒ විදියටම නොතිබෙන්න පුළුවන්. දැන් ඒකාබද්ධ අරමුදල කියලා එකක් තියෙනවා. ඒත් ඒක කොහොමද තියෙන්නෙ, මේන් කෑෂ්බුක් එකවුන්ට් කියලා. එහෙම නැත්නම් ට්‍රෙෂරීස් ජෙනරල් එකවුන්ට් කියලා. එතකොට නීතිවිරෝධීයිද ? මේ රටේ ඕනෙ තරම් අරමුදල් හදලා තියෙනවා හදිසියට. සුනාමියට හදලා තියෙනවා, පාස්කු ප්‍රහාරයටත් හදලා තියෙනවා. දැන් මේ IMF හදපු පනතක් අල්ලාගෙන … අපි දන්නවා ඒක ලංකාවේ නීතිය තමයි, හැබැයි ලංකාවේ නීතියේ තිබුණා කියලා …. මේ අරමුදල ආණ්ඩුවටත් වඩා මිනිස්සු ඉල්ලුවේ. ඕනෙම රටක පනතක් හදන්න කාලයක් යනවා. මේ පනත හදාගෙන යමින් තියෙන්නෙ. රීබිල්ඩින් ශ්‍රී ලංකා එක දැනට මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් යටතේ තියෙන ගිණුමක්. ඒක නීත්‍යානුකූලයි. මිනිස්සුන්ට ඕනෙ වුණා දිට්වා එකෙන් පස්සෙ ආධාර කරන්න. ඒකට ගිණුමක් හැදුවා, ඒ ගිණුමෙ නම ඩිපියුටි ට්‍රෙෂරි සෙකට්‍රීස් එකවුන්ට්. හැබැයි මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැති හින්දා අපි ඒකට නමක් කියනවා ‘දිට්වා අරමුදල’ කියලා. ඉතාම සරල දෙයක් කරලා තියෙනවා ඉතාම සද් චේතනාවෙන්. ඒකට මේ නිලධාරීන්ගේ කටින් අල්ලාගන්න හදනවා එහෙම ෆන්ඩ් එකක් නෑ නේද කියලා. ඒක වැරදියි. අපි මේ අර සුනාමි ෆන්ඩ් හොරකම් කරන ජාතියේ කට්ටියක් නෙවෙයි. අපි මේ සුනාමි හොරු නෙවෙයි රාජපක්ෂලා වගේ”
බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමිනි.
රාජපක්ෂලාට සුනාමි අරමුදල් වංචාව පිළිබඳ චෝදනාව එල්ල වූයේ 2005 වසරේදී ය. ඒ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතව සිටි ජනතා විමුක්ති පෙරමුණ ඒ සුනාමි අරමුදල් සොරකම් චෝදනා එල්ල වී සිටි මහින්ද රාජපක්ෂව ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා අතිවිශාල සහායක් ලබාදුන්නේය. එදා රාජපක්ෂලාට සුනාමි චෝදනා එල්ල කළ අයව කොටි හිතවාදීන්, දේශද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසුවේ ජවිපෙ විසිනි.
