June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අටමස්ථානාධිපති, යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප වෙයි

1 min read

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක්කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ප්‍රතික්ෂේප කළේ ය.

එලෙස සැකකාර පල්ලේගම හේමරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් තමන්ට නිකුත් කළ නොහැකි බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, මෙම සිද්ධියට අදාළ නඩුව අද (මැයි 12) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

මෙහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් සහ සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතීඥයන් සහ බන්ධනාගාර නිලධාරීන් අමතමින් ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මේ බව සඳහන් කළේ ය.

සැකකාර පල්ලේගම හේමරතන හිමි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, ඒ හිමියන් අද දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් පැවසුව ද සැකකාර පල්ලේගම හේමරතන හිමි මැයි 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සහ අද දින මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බව සඳහන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය තම අධිකරණයට මෙතෙක් ලැබී නැති අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මෙම අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින පසුබිමක සැකකාර හිමි යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරිමට තමාට නීතිමය හැකියාවක් නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.

ජනප්‍රිය පුවත්  මහ බැංකුව විදේශ විනිමය විකුණයි!

එවැනි තත්ත්වයක් තුළ සැකකාර පල්ලේගම හේමරතන හිමි යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ නම් එම නියෝගය ද දැනට පවතින තත්ත්වය අනුව නිකුත් කළ යුත්තේ ද, සැකකාර හිමි නිරීක්ෂණය කර මැයි 12 දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝගය ලබා දුන් මහේස්ත්‍රාත්වරයා විසින් ම බව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න පැවසීය.

ඒ අනුව, මෙම නඩුව එළැඹෙන 15 වන දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නිට්ටඹුව පොලිසියට නියෝග කළේ ය.

නඩුව කැඳවූ අවස්ථාවේ නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බව ය.

සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පැවසුවේ, තම සේවාදායක අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

සමාජයේ ජීවත් වන වෛද්‍යවරුන්, නීතීඥවරුන් මෙන්ම විවිධි වෘත්තීයවේදීන් සහ සාමාන්‍ය ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාග කොට තීන්දු ලබාදී අවසන් බවට ජනාධිපති නිතීඥවරයා චෝදනා කළේ ය.

ජනප්‍රිය පුවත්  ඉරානයට එරෙහි ගොඩබිම් යුද මෙහෙයුමකට පෙන්ටගනය සූදානම් වෙයි!

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මගින් එවා තිබූ සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්, බන්ධනාගාර නිලධාරින් පැවසුවේ, සැකකාර හේමරතන හිමියන් දුර බැහැරකට ප්‍රවාහනයට කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොමැති බව සහ උන්වහන්සේ විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ද භාජනය කිරිමට ඇති බැවින් මැයි 12 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නොහැකි බව ය.

සියලු පාර්ශවවල කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පල්ලේගම හේමරතන හිමි යළි බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් මේ මොහොතේ තමන්ට නොහැකි බව පවසමින් උන්වහන්සේ යළි බන්ධානගාරගත කිරිමේ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ අනුව, මෙම නඩුව එළැඹෙන 15 වන සිකුරාදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට ද නියෝග කෙරිණි. පැමිණිල්ල වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නඩු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ඇතුළු නිලධාරීන් පිරිසක් පෙනී සිටියහ.

සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් නීතීඥවරුන් වන හේමන්ත ගමගේ, කූජන බානගොඩ, ෂමින්ද හේරත්, ජනිත් මහසෙන් සහ හිමංසා සමරදිවාකර සමග ජනාධිපති නිතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පෙනී සිටියහ.

ජනප්‍රිය පුවත්  විදුලිය බිල යළි නංවයි!

සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, චන්දන වීරකෝන්, ආරියරත්න වික්‍රමආරච්චි, ධනුෂ්ක දහම්පත්, කාලිංග රවීන්ද්‍ර, මදාරා විජේසිංහ, ජයලත් අබේසිංහ ඇතුළු අනුරාධපුරයේ නීතීඥවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේ අනුරාධපුරයේ නීතීඥවරුන් සහ නීතීඥවරියන් 30කට ආසන්න පිරිසක් විවෘත අධිකරණයේ රැඳී සිටි අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ ස්වර්ණමාලී අනුරාධනායක සහ නිතීඥවරුන් වන සංජය රත්නායක සහ සුනන්ද තෙන්නකෝන් ඇතුළු නීතීඥවරු සහ නීතීඥවරියන් 7 දෙනෙක් සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් පෙනී නොසිටියහ.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් නිට්ටඹුව පොලිසිය විසින් ඉකුත් 8 වන දා රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගනු ලැබුවේ, උන්වහන්සේ වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ලබා දී තිබූ නියෝගයකට අනුව ය.

සැකකාර පල්ලේගම හේමරතන හිමි වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කොට තිබුණේ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහගේ උපදෙස් මත කැඳවා එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේකෝන් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.

මූලාශ්‍ර : (BBC සිංහල)

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x